Latestදේශීය

මහජන බැංකුව මංකොල්ල කෑ ජාවාරම්කරුවෝ

මහජන බැංකුවේ රුපියල් කෝටි දහස් ගණනක දේශපාලන අනුග්‍රහයෙන් පොලු තැබූ ජාවාරම්කරුවන් දස දෙනෙකු පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජේෂ්ඨ උපදේශක ශාන්ත ජයරත්න විසින් හෙළිකර තිබේ.

ඔහු මේ සම්බන්ධයෙන් තබා තිබූ ෆේස්බුක් සටහන උපුටා ගෙන පහත පළ කරන්නෙමු.

මහජන බැංකුව මංකොල්ල කෑ ලංකාවේ මහා ජාවාරම් කරුවන් 10 දෙනා………..

පාර්ලිමේන්තුවේ තිබෙනවා කෝප් (COPE) කියලා කමිටුවක්. ඒකේ දිග නම තමයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව. (The Committee on Public Enterprises). ලංකාවේ ව්‍යවස්ථාව අනුව රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ වගකීම තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඔබ දන්නවා ආණ්ඩුවට අයිති ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්නේ මහජන මුදලින්. ඒ අනුව රජයේ විගනකාධිපති වරයා මෙම ආයතන විගණනය කරනවා. මහජන මුදල් නිසි පරිදි මුදල් රෙගුලාසි වලට අනුව වියදම් කොට තිබෙනවා ද කියලා ඔහු පාර්ලිමේන්තුවට වාර්තා කල යුතු වෙනවා.

දත් නැති ලංකාවේ කෝප් කමිටුව

රජයේ මූල්‍ය පාලනය පිළිබඳ පාර්ලිමේන්තුව සතු බලතල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ XVII වන පරිච්ඡේදයේ අංක 148, 149, 150, 151 හා 154 යනාදි වගන්ති වලින් විධිවිධාන සලස්වලා තිබෙනවා. පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ලංකාවට ලැබෙන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන්. එහෙත්, අපි ඒ සම්ප්‍රදායට පවා අවමන් වෙන විදිහට තමයි කටයුතු කරන්නේ. මොකද, එංගලන්තයේ කෝප් කමිටුවට නීතිමය බලතල තිබෙනවා. රාජ්‍ය සමාගම් පමණක් නොවෙයි පෞද්ගලික සමාගම් ද කැඳවා ප්‍රශ්න කල හැකියි. අමෙරිකාවේත් එහෙමයි . දඩ, අධිභාර යනාදිය පැවරිය හැකියි. එංගලන්තයේ කෝප් කමිටුවට හොඳට දත් තිබුණත් ලංකාවේ කෝප් කමිටුවට හපන්න දත් නැහැ. ඒක ලොඹු කමිටුවක්.

පාර්ලිමේන්තුවේ ජෝකර් කමිටු

කෝප් පාර්ලිමේන්තුවේ තිබෙන ස්ථාවර කමිටුවක්. සම්ප්‍රදාය අනුව මේකේ සභාපති හැටියට පත්කර ගන්නේ විපක්ෂයේ මන්ත්‍රී වරයෙක්. මෑත ඉතිහාසයේ කිසියම් හෝ අවංක සේවයක් කිරීමට සමත් වුනේ ජවිපෙ /ජාතික ජනබලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පමණයි. ඔහුගේ සභාපති වාර කාලයේදී තමයි කුප්‍රකට මහ බැංකු මංකොල්ලය ප්‍රථම වතාවට රටට හෙළිදරව් වෙන්නේ. ඉන් පසු පත්වූ කෝප් කමිටු සභාපති තෝරා ගත්තේ ආණ්ඩු පක්ෂයෙන්. අදටත් එහෙමයි. ඒක හරියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්.

අඬ අඬ සභාපති කම ඉල්ලන හර්ෂ

තවත් ස්ථාවර කමිටුවක් තමයි මුදල් කාරක සභාව. මෙම අලි+පොහොට්ටු පාර්ලිමේන්තුවේ මුදල් කමිටු සභාපති කම ඉල්ලල සජබේ මන්ත්‍රී හර්ෂ ද සිල්වා අඬනවා ඔයගොල්ල දකින්න ඇති . ඊයෙත් එතුමා කථානායක ගෙන් මෙහෙම අහනවා ” ගරු කථානායක තුමා, ඇයි මට මේ සභාපති කම දෙන්නේ නැත්තේ” කනගාටුව , විෂය දන්නා එතුමාට ඒක නොදී ඊට වැඩිය ආර්ථික විශේෂඥයෝ හැටියට සැලකෙන අයට දවසින් දවස තාවකාලික සභාපති කම දෙන එක ගැන . පහුගිය සතියේ මුදල් කාරක සභාවේ සභාපති කමට ජොන්සන්ටන් පත් කලා. ඊට කලින් වජිර අබේවර්දන. අද සමහර විට ලන්සා. ලබන වාරේ තිස්ස කුට්ටි වෙන්නත් බැරි නැහැ. දැන් ඒක සංගීත පුටු තරඟයක් වගේ.

ජාවාරම් කාරයන්ගේ බිලියන 54 පොල්ල

පහුගිය පාර්ලිමේන්තු වාරයේ කෝප් කමිටුවට මහජන බැංකුව කැඳෙව්වා. එහිදී විගනකාධිපති වරයාගේ වාර්තාව පදනම් කරගෙන කමිටුව ප්‍රශ්න කිරීමේ දී මහජන බැංකු සභාපති සුජීව රාජපක්ෂ (වියත්මග සාමාජික), අධ්‍යක්ෂ මණ්ඩලය සහ ප්‍රධාන නිළධාරීන් කෝප් කමිටුව ඉදිරියේ හෙළිදරව් කරනවා මහජන බැංකුව ප්‍රබල ව්‍යාපාරිකයන් පිරිසකට ලබා දුන් රුපියල් බිලියන 54ක් බොල් ණය කපා හැරිය බව.

බොල් ණය විදිහට බිලියන 54ක් කපන්න ? මේ රටේ අහිංසක මිනිස්සු තැන්පත් කල සල්ලි? වෙන රටක නම් අධ්‍යක්ෂ මණ්ඩලයම මෙලහකට කම්බි කූරු ගණිනවා. ඒත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ . ඔවුන්ට තව වරප්‍රසාද ලැබෙනවා.

මේ ජාවාරම් කරුවන් දහදෙනෙකුගේ තොරතුරු පමණයි. තවත් සිය ගණනක් ඉන්නවා. ලංකා බැංකුවෙත් මෙවැනි බොල් ණය කපා හැරීම් තිබෙනවා.

  1. යශෝදා සමූහ ව්‍යාපාරය (ආර්. ප්‍රේමදාස සමයේ සිටම එජාපයට සම්බන්ධ බලගතු ව්‍යාපාරිකයෙක්) රුපියල් මිලියන 24,000 (බිලියන 24)
  2. දයා ගමගේට අයිති දයා ඇපරල් සමූහ ව්‍යාපාරය (එජාප රජයේ හිටපු ඇමැති , බිරිඳ රාජ්‍ය ඇමැති , දැනට එජාප භාණ්ඩාගාරික) රුපියල් මිලියන 2,647
  3. WA මෙන්ඩිස් සහ සමාගම (අයිතිකරු අර්ජුන ඇලෝසියස්, මහබැංකු හොරකමේ ප්‍රධාන විත්තිකරු) රු. මිලියන 3,242.
  4. ග්‍රෑන්ඩ් මවුන්ටන් හොටෙල්ස් (අයිතිකරු මාතලේ ප්‍රදේශයේ ශ්‍රී ලංකා, සහ පොදු පෙරමුණු රජයන් වල හිටි අරක්කු නිෂ්පාදකයෙක් වන නියෝජ්‍ය ඇමැති වරයකුගේ පුතෙක්)- රු. මිලියන -3,685.
  5. CML MTD සමූහ ව්‍යාපාරය (මෙම සමාගමේ හිමිකරු යහපාලන සමයේ මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්. මොහු ලංකා බැංකුවටත් එම දේපළම උකස් කොට තවත් බිලියන ගණනක් ලබා ගෙන ඇත) – රු. මිලියන -5,028
  6. හුරවී ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් සමාගම -රු.මිලියන -2,521
  7. නවලෝක සමාගම – රු.මිලියන -1,442
  8. මිහින් ලංකා සමාගම (නොනිළ අයිතිකරුවන් වුනේ ලංකාවේ රජ පවුල) රු.මිලියන -2,566
  9. සතොස – රු. මිලියන -5,443
  10. ශ්‍රී ඉක්විප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ්- රුපියල් මිලියන – 3173

මේවා මහදවල් කරන හොරකම් නොවේද ?

ඔබට පේනවා ඇති දේශපාලන බලය හිමි පුද්ගලයන් බැංකුවලට තියලා තියෙන පොලු වල තරම. මේවා තමයි Day light robberies කියන්නේ. මේ වංචා කරුවන්ට අද ඉන්න පාලකයන් දඬුවම් දෙයි ද? දයා ගමගේට රනිල් වික්‍රමසිංහ දඬුවම් දේවි කියා ඔබ හීනෙකින් වත් හිතනවා ද? ඇලෝසියස් නඩු වලින් නිදහස් වී මැන්ඩිස් සමාගම නැවත ආරම්භ කොට තිබෙන්නේ කාගේ අනුහසින් ද?

දයා ගමගේ හෙට අනිද්දා ආණ්ඩු කාරයෙක් නොවුනහොත් ඔබ පුදුම නොවන්න. ඔහු විසින් කුණු කොල්ලයට ගත් හිඟුරාණ සීනි සමාගම පසු ගිය රජය පවරා ගෙන තිබුණා. දැන් නැවත ඔහුටම එය ලබා දීමට පිඹුරුපත් සැකසෙමින් තිබෙනවා කියා ආරංචියි. එජාප, සජබ, පොහොට්ටු පක්ෂ කවදාවත් ඉඩ දේවිද මෙවැනි හොරුන් අල්ලා දඬුවම් දෙන රජයක් ඔබට ලේසියෙන් පත්කර ගන්න?

ඔබට හොරු අල්ලන්න රජයක් ඕනෙද?

එහෙත් , රටේ මහජනයාට එය වෙනස් කල හැකි යි. රටේ දූෂණයට විරුද්ධ ජනයා සූදානම් නම් මේ අහිමි වූ ධනය නැවත අත් පත් කරගන්න, මේ ජාවාරම් කාරයන්ට නිසි දඬුවම් ලබා දෙන්න, ඔබට අවස්ථාවක් ලැබේවි. මේ හොරකම් 10ක් පමණයි. මේ වගේ තව කොපමණ වංචා දූෂණ තිබෙනවා ද? මේවා හෙළිදරව් කරනකොට සමහරු අහනවා ඇයි උසාවියේ නඩු දාන් නැත්තේ කියලා. ඒ අය දන්නේ නැහැ පොලීසිය විමර්ශන කරලා නීතිපති උපදෙස් අනුව උසාවියේ නඩු දාන්න ඕනේ කියලා. මේවා අපරාධ නඩු. සිවිල් පුරවැසියන්ට අපරාධ නඩු පවරන්න බැහැ.

මෙවැනි හොරුන්ට දඬුවම් ලබා දෙන්නට අවශ්‍ය නම් අදූෂිත පාලනයක් බිහිකර ගන්න රටේ ජනයා හැටියට ඔබ සූදානම් විය යුතුයි. ජාවාරම් කරුවන්ගේ අතකොළු නොවු, කිසිදු බැඳියාවන් නැති, ජනයාට පමණක් වගවෙන රජයක් බිහිකර ගැනීම ඔබට පැවරෙන වගකීමක් වෙනවා. මා ඔබෙන් අසන ප්‍රශ්නය “ඔබට තවදුරටත් මේ හොරුන් සමග වාසය කිරීමට අවශ්‍ය ද?” එසේ නම් ඒ ඔබේ කැමැත්ත. ඔබට මේ දූෂිත ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය නම්, සූදානම් වන්න. තම මැතිවරණ ප්‍රතිපත්තිය ව්‍යවස්ථාවෙන් තහවුරු කරන, ඡන්ද දායකයාට වග නොවෙන නියෝජිතයන් යලි කැඳවීමට වයවස්ථාවෙන්ම බලය ලබා දෙන මහජන රජයක් ගොඩ නගා ගන්න. අපිට එය කල හැකි යි.

ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
10.05.2023

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?