Latestදේශීය

කළුතර බාලිකා පාසැලේ විදුහල්පතිනිය මාරු කිරීම පිටුපස ආ.ශි.ස. සහ රවී කරුණානායක ?

කළුතර බාලිකා ජාතික පාසලේ විදුහල්පතිවරිය වන තුෂිනි වීරකෝන් මහත්මියට වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදීම පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බව එම විදුහලේ ආචාර්ය මණ්ඩලය අප සමග පැවසුවා.

අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණිය නියෝජනය කරන තුෂිනි වීරකෝන් මහත්මිය කළුතර බාලිකා ජාතික පාසැලේ විදුහල්පතිනිය ලෙස පත්වීමෙන් අනතුරුව එතෙක් සිටි විදුහල්පතිනියන්ට වඩා වෙනස් අයුරින් කටයුතු කරමින් දරුවන් සම්බන්ධයෙන් දැඩි තීරණවලින් බැහැරව දරුවන්ට ද ලෙංගතුව කටයුතු කරමින් තවද ගුරුවරුන් හා ඉතා සුහදශීලීව කටයුතු කරමින් විශිෂ්ඨ සේවාවක් සැලසූ බව පැවසූ පාසැලේ ආචාර්ය මණ්ඩලය,  විදුහල්පතිනිය දරුවන්ට මවක් මෙන් කටයුතු කරනා අත්දැකීම් ගුරු මණ්ඩලයට ද ආදර්ශයක්ව පැවතුනු බව ද සදහන් කළා.

ගුරු භූමිකාවෙන් මෙන්ම විදුහල්පති භූමිකාවෙන් අපේක්ෂිත පරමාදර්ශයන් ඇය තුළින් විද්‍යාමාන වූ බව පැවසූ කළුතර බාලිකා පාසැලේ ආචාර්ය මණ්ඩලය,  නව පරම්පරාව සම්බන්ධයෙන් හිතන මෙන්ම ඔවුන්ව තේරුම් ගන්න උත්සාහ කරන වටිනා ගුණාංග තුෂිනි වීරකෝන් මහත්මිය සතු බවද අවධාරණය කළා.  

මේ අතර කළුතර බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සැමවිටම ක්‍රියාත්මක වූයේ විදුහල්පතිනියට ඉහළින් බවත් වසර දෙකෙන් හෝ තුනෙන් මෙහි නිළධාරීන් අතරම තනතුරු හුවමාරුවක් සිදු කරගන්නා අතර භාන්ඩාගාරික තනතුර වසර 10ක් එක් අයෙක් හොබවමින් සිටින බව පැවසූ ආචාර්ය මණ්ඩලය, මෙම නිළධාරි මණ්ඩලය විසින් පාසලේ උන්නතිය උදෙසා දායකත්වයන් සැපයුව ද ඔවුන්ගේ ක්‍රියාවන් තුළ විශාල වංචනික ක්‍රියාවන් බහුල බවත් දෙමාපියන් අතර මෙන්ම පාසැල් පරිපාලනය තුළ ද මේ සම්බන්ධයෙන් පවතින්නේ දැඩි විවේචනයක් බවත්  පැවසුවා.

වත්මන් විදුහල්පතිනිය මෙම ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස ක්‍රියා කරන්න පටන් ගෙන පසුගිය සභා වාර්ථා අධ්‍යයනය කිරීමට ඉල්ලා සිටීම සහ භාන්ඩාගාරිකගේ මූළ්‍ය වාර්ථා සහ එහි විගණන වාර්ථා අධ්‍යයනය කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් ආදි ශිෂ්‍ය සංගමයේ නිළධාරින් කිහිප දෙනෙක් විදුහල්පතිනියට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග තෝරමින් විදුහල්පතිනියව පාසැලෙන් ඉවත් කිරීමට උපරිමයෙන් ක්‍රියා කළ බව ආචාර්ය මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියා.

විදුහල්පතිනියට එරෙහිව අදිසි හස්තයක් සේ ක්‍රියාත්මක වූ  ආදි ශිෂ්‍ය සංගමයේ නිළධාරීන් කිහිප දෙනෙකු, මැතකදී කළුතර ප්‍රදේශයේ සිදුවූ පාසැල් ශිෂ්‍යාවගේ ඝාතනය සමාජ විද්‍යාත්මක ඇසකින් නොබලා එම මරණයට අදාල සියලු චෝදනා විදුහල්පතිනියගේ ගිණුමට බැර කරන්න උත්සාහ කළ බව ද පැවසුවා.

මියගිය සිසුවිය මෙන්ම එම සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාාගාරගත කර සිටින සිසුවිය ද කළුතර බාලිකා විද්‍යාලයේ සිසුවියන් වීම නිසා එහි වාසි උපරිමයෙන් ලබා ගනිමින් විදුහල්පතිනියට එරෙහිව සැලසුම්සහගතව කුමන්ත්‍රණයක් දියත් කරන්නට ආදි ශිෂ්‍ය සංගමයේ නිළධාරින් කටයුතු කළ බව ද ආචාර්ය මණ්ඩලය වැඩිදුරටත් පැවසුවා.  

මේ අතර හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ දේශපාලන බලය යොදාගෙන අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ගේ අත්සනින් පසුගිය සිකුරාදා විදුහල්පතිනියට ලිපියකින් දැනුම් දෙන්නේ වහාම ක්‍රියාත්මක වන පරිදි අධ්‍යාපන අමාත්‍යංශයට වාර්ථා කරන ලෙසයි.

මෙම ලිපිය දුටු විගස එදින පාසලට පැමිණ සිටි ආචාර්ය මණ්ඩලයේ එක් අයෙක් හැර ඉතිරි 100දෙනාම තම අත්සන යෙදූ ලිපියකින් අධ්‍යාපන බලධාරින්ට දන්වා සිටියේ මෙම ස්ථාන මාරුවට පාසැල් ගුරු මණ්ඩලයේ විරෝධතාවය පල කරන බවයි.

එපමණක් නොව ගුරු විදුහල්පති සන්ධානයට සහ මානව හිමිකම් කොමිසමට ද එම ලිපියේ පිටපත් යොමු කිරීමට ක්‍රියාකළ ගුරුමණ්ඩලය අනතුරුව විදුහල්පතිනියට සිදුකළ මෙම අසාධාරණයට එරෙහිව නිහඩ විරෝධතාවයක් ද දියත් කළා.  මේ අතරතුර දෙමාපියන් ද උද්ඝෝෂණයක් දියත්කරමින් පැවසුවේ මෙම අත්තනෝමතික මාරුවට තමන් එකහෙලා විරුද්ධ බවයි.

මේ වන විට කළුතර බාලිකා ජාතික පාසැල සුරැකීමේ සංවිධානය මෙම ස්ථාන මාරුවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බව පැවසූ  පාසැලේ ආචාර්ය මණ්ඩලය කළුතර මහජනතාව ද මෙම අත්තනෝමතික ස්ථාන මාරුවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද  වැඩිදුරටත් අවධාරණය කළා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?