Latestදේශීය

දරුවන්ට සහ කාන්තාවන්ට වන්දිගෙවීමට ඉඩහැර නිහඬව බලා සිටින පාලකයින්

රටේ ආර්ථිකය කඩා වැටීමත් සමග කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ජීවිතවලට බරපතල තර්ජනයක් වීමට ඉඩහැර පාලකයන් නිහඬව සිටිනා බවට අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ විධායක සභික, ප‍්‍රභාෂිණී වික‍්‍රමසිංහ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදී චෝදානා කළාය.

බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති එම මාධ්‍ය හමුවේදී ඇය දැක්වූ සම්පූර්ණ අදහස් පහතින් දැක්වේ,

“මේ වෙන කොට අපේ රටේ වැඩ කරන කාන්තාවන් විශාල පිරිසක් දැඩි ඛේදවාචකවලට මුහුණ දෙමින් ඉන්නවා. ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳව ඉතිහාසයේ දී නිසි අගැයීමක් නොලැබුණා සේ ම වර්තමානයේද ඔවුන්ගේ ලේ, කඳුළු, දහදිය ඔහේ දියවී යන ඛේදනීය තත්වයක් තියෙන්නේ. රාජ්‍ය අංශය, වතු කම්කරු, පෞද්ගලික අංශය සහ විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත‍්‍රයේ මේ රට තුළත්, විදේශ රටවල රැකියා කරන කාන්තාවන්ගේ ජීවිතත්, ඉතාමත් අනාරක්‍ෂිත, ජීවිතවලට වටිනාකමක් නැති තත්වයකට හෙළා තිබෙනවා. විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින මේ මොහොතේ එයින් ගොඩ යන්න කාන්තාවෝ අනුපමේය කාර්යභාරයක් ඉටු කරමින් සිටිනවා.

විශේෂයෙන්ම විදේශගත ගෘහ සේවයේ යෙදෙන කාන්තාවන් සහ වතු ක්ෂේත‍්‍රයේ කාන්තාවන් ඔවුන්ගේ ජීවිත පවා උකසට තබමින්, මේ කැප කිරීම් කරන්නේ. ඇඟලුම් ක්ෂේත‍්‍රයත් ඊට නොදෙවෙනියි. නමුත්, මේ සියලුම කාන්තාවන්ගේ ශ‍්‍රමය කැප කිරීමට තරම් ආහාර වේලක් නොලැබෙන සොච්චම් වැටුපක් ලැබෙන්නේ. ඔවුන්ගේ සෞඛ්‍යය නිසි ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් ටිකවත් නැහැ. දරුවන්ගේ ජීවිතත් ඉතාම අනාරක්‍ෂිත භාවයකට පත් වී තිබෙනවා. වතුකරයේ ගැහැනු දරුවන් නගර ආශ්‍රිතව ගෘහ සේවයේ යෙදැවීමේදී පවතින්නේ ඛේදනීය තත්වයක්. මේ සියලු අංශවලින් බැලුවාම ගැහැනුන්ගේ සහ දරුවන්ගේ ජීවිතවලින් වන්දි ගෙවන්නට ඉඩහැර පාලකයන් නිහඬව අහක බලාගෙන ඉන්නවා. වතු අංශයේ සහ ඇඟලුම් කේෂ්ත‍්‍රයේ රැකියා කරන කාන්තාවන් ලෑලි මඬු වගේ තැන්වල නැවතී ඉන්නේ. ඔවුන්ට නිසි නිවහනක් ලබා දෙන්නවත් පාලකයන් මේ දක්වා ක්‍රියා කර නැහැ.

විදේශ රැකියා සඳහා ගිය බොහෝ අම්මලාට විඳින්නට සිදුවී තිබෙන දුක්ගැහැට ඒ රටවලත් තානාපති කාර්යාල අසළින් දැකගන්න පුළුවන්. ජීවිතය ඉල්ලා හඬාවැටෙන බොහෝ දෙනෙක් ඉන්නවා. ඔවුන්ට ඇඟ විකුණා හෝ රටට සල්ලි එවීමට ඉඩහැර තිබෙනවා. වැඩ කරන කාන්තාවන්ගේ ජීවිත සුරක්‍ෂිත කරන්නට, වටිනාකමක් ලබා දෙන්නට සුදුසු වටාපිටාවක් සකස් කරන්න පාලකයන් හිතන්නේ නැහැ. මේ නිසා අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය හැටියට අපි පාලකයන්ට බල කර කියා සිටින්නේ, ඔවුන්ගේ ජීවිත සුරක්‍ෂිත කිරීමට වහාම පියවර ගන්නා ලෙසයි.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?