Latestදේශීය

ජාතිය විකුණන ආගම් විකුණන සාහසික අපරාධය නැවත කරමින් සිටිනවා

“ඉන්දියාවේ මහ මැතිවරණය ලබන වසරේ තියෙනවා. ඒකත් එක්කත් ඔය වගේ ආගමික කටයුතු ඇදෙමින් තිබෙන බව අපිට පේනවා” චම්පික රණවක මහතා චෝදනා කරයි.

මාදුළුවාවේ සෝභිත හිමි ජන්ම දින සංවත්සර උත්සවය සඳහා සහභාගී වූ පාඨලී චම්පික රණවක මහතා මේ වනවිට රට තුළ ආගම් විවේචනය කරමින් පැතිර යන ප්‍රකාශ පිළිබඳ අදහස් දක්වමින් මේ බව පවසන ලදී.

එහිදී පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේයි..

“රට බංකොලොත්භාවයට පත් කරපු පුද්ගලයෝ කවුරුන්වත් තමන් ඒ පිළිබඳව වගකීම අරගෙන මේ රටෙන් සමාව ඉල්ලලා නැහැ. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට පත් කිරීම සඳහා බෞද්ධ ආගමික සංවේදීතාව විකුණපු පිරිසක් හිටියා. ඒ පිරිස අපි දකින්නේ අවර ගණයේ ජාතිකවාදී ව්‍යාපෘතියක් මෙහෙය වූ අය හැටියට. එම පිරිස් දැන් බොහොම සංවිධානාත්මකව නැවත තමන් කරපු සාහසික අපරාධය ක්‍රියත්මක කරනවා. මේ රටේ පනස් පන් ලක්ෂයක් පවුල් ඔවුන් අමතක කරනවා. මේ පනස් පන් ලක්ෂයක් පවුල් වලින් 76% ක් සිංහල ජනතාව. 70% ක් බෞද්ධ ජනතාව. එතකොට මේ සියලු දෙනාවම බංකොලොත් කරලා මහපාරට ඇදලා දැමීමේ වගකීම දරන්න ඕන අය නැවත වතාවක් මේ ආගමික සංවේදීතාවයන් පාවිච්චි කරනවා.

ඉන්දියාවේ මහ මැතිවරණය ලබන වසරේ තියෙනවා. ඒකත් එක්කත් ඔය වගේ ආගමික කටයුතු ඇදෙමින් තිබෙන බව අපිට පේනවා. අපි සියලුම දෙනා මතක තබා ගත යුතුයි, තමන්ගේ අදහස් පළකිරීමේ නිදහස මූලික මානව අයිතියට අනුකූලව සිදුකරන්න. මූලික මානව අයිතියට අනුකූල වීම කියන්නේ තමන් කරන ප්‍රකාශ වලින් සාතිශය බහුතරයකගේ සිත් රිදීමක් වෙනවා නම්, ඔවුන් අදහන විශ්වාසයන් වලට ඉතාම රුදුරු විදිහට රිදවනවා නම් ඒ පිළිබඳ වගකීම් සහගත ලෙස ප්‍රකාශ සිදුකිරීම.

ඒ වගේම ICCPR පනත පාවිච්චි කරනවා නම්, ඒ පනත සියලු දෙනාටම එක විදිහට, යුක්ති සහගත විදිහට පාවිච්චි කරන්න. නමුත් අපිට පේනවා ඒක පාවිච්චි වෙන්නේ නැහැ සමහර බලගතු පුද්ගලයින්ට. තෝරාගත් පිරිසකට විතරක් තමන්ට සුදුසු විදියට, දේශපාලන අවියක් හැටියට පාවිච්චි කරනවා. රට බංකොලොත් භාවයට පත් කරපු ඒ පිරිස් වලට නැවත වතාවක් මෙතන කෙළි බිමක් හදන්න දෙන්න එපා. ඒගොල්ලන්ව මේ රටේ දේශපාලනයෙන් ඉවත් කරන්න ඕනේ. විශේෂයෙන්ම තමන් අදහස් පළ කිරීමේදී අනිත් මිනිස්සුන්ගේ සංවේදීතාවයන් පිළිබඳ සංවේදීව කටයුතු කිරීම තමයි වගකිවයුතු කථිකයන්ගේ එහෙම නැත්නම් කලාකාරයන්ගේ එහෙමත් නැත්නම් යූටියුබර්ස්ලාගේ වගකීම.”

එහිදී මාධ්‍යවේදී නැගූ තවත් ප්‍රශ්න සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙසේ අදහස් දක්වන ලදී.

ප්‍රශ්නය: හුඟක් අය කියනවා රජකාලේ දඩුවම් දෙන්න ඕනේ මොවුන්ට කියලා. මොකක්ද වෙන්න ඕනේ?

පිළිතුර: රජ කාලයක් නෙමෙයිනේ දැන් තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්. ඒ ප්‍රජාතන්ත්‍රවාදී සමාජය නිර්මාණය වෙලා තියෙන්නෙ යම් නීති රාමුවක් ඔස්සේ. එම නීති රාමුව ඔස්සේ අපි කටයුතු කරන්න ඕන.

ප්‍රශ්නය: හුඟක් අය කියනවා 2048 වෙනකන් රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් හදලා තියෙන්නේ කියලා. වැඩේ කරයිද?

පිළිතුර: 2048 දී එතුමා ජීවතුන් අතරත් නෑ. අපි ජීවතුන් අතරත් නෑ. ඒ සැලසුම් වලින් මං හිතන්නෑ ලොකු දෙයක් අපේක්ෂා කළ යුතුයි කියලා. ලබන ආත්මේ පින් තකා වැඩ කරන අයත් ඉන්නවා. ඒ විදියේ ක්‍රියාවලියක් නෙවෙයි රටක සංවර්ධනය කියන එක. මේ සඳහා එක්සත් ජනරජ පෙරමුණ අවුරුදු තුනක් ඇතුළත රට ප්‍රකෘතිමත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් එයට අවශ්‍ය කරන අත්දැකීම් බහුල බලගතු ක්‍රියාකාරීන් පිරිසක්, ඒ වගේම තරුණ කණ්ඩායමක් අපි සතුයි.

@Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?