විද්‍යුත් මාධ්‍ය ආණ්ඩුවට හීලෑ කර ගැනීම නොහොත් විකාශන නියාමන කොමිසම
යෝජිත විකාශන නියාමන කොමිසම විද්‍යුත් මාධ්‍ය ආණ්ඩුවට හීලෑ කර ගැනීමේ තැතක් යැයි ජාතික ජන බලවේගය අවධාරණය කරයි.
ජාතික ජන බලවේගය මේ බව අවධාරණය කර සිටියේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ (05) පැවති මාධ්‍ය හමුවක් අමතමිණි. එම මාධ්‍ය හමුව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික චමින්ද ජයසූරිය සහ ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභික විමල් කැටිපේආරච්චි එක්වී සිටියහ.
එහිදී ඔවුන් වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින් දැක්වේ,
ජනතාවට සත්‍ය තොරතුරු ගලා ගෙන යාම අඩාල කරන්න ආණ්ඩුවට දේශපාලනික අධිෂ්ඨානයක් තිබෙනවා – මේ පනත් කෙටුම්පත ඊට උදව් වන්නක්
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස
“ආණ්ඩුව විසින් යෝජනා කර, සාකච්ඡාවට බඳුන් කරමින් තිබෙන විකාශන නියාමන කොමිෂන් සභා කෙටුම් පත පිළිබඳව ජාතික ජන බලවේගයේ ස්ථාවරය ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. අපේ රටේ විද්‍යුත් මාධ්‍යවල සංඛ්‍යාත තීරණය කිරීම සඳහා සහ බලපත්‍ර ලබාදීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තිබෙනවා. දැන් ආණ්ඩුව මේ අලුත් කොමිසම යෝජනා කරන්නේ රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකාවල විකාශනය වන වැඩසටහන්වල අන්තර්ගතය නියාමනය කිරීම සඳහායි. මෙම විද්‍යුත් විකාශන නියාමන කොමිසම පිළිබඳව 2022 සැප්තැම්බර් මාසයේදී පළමුවරට කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ගැනෙනවා. ඒ, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙම ධුරයට පත්වීමෙන් පසුව ඔහුගේ මූලිකත්වයෙන් පැවැත්වුණු කැබිනට් මණ්ඩලයකදීයි. එහිදී මේ සඳහා වන පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් නම් කරනු ලැබෙනවා. ඒ අනුව එම කැබිනට් අනු කමිටුව විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත දැන් ඉදිරිපත් වී තිබෙනවා. එය මාධ්‍ය ක්ෂේත්‍රයේ සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.
ආණ්ඩුව මෙම නියාමන කොමිසම මගින් කරන්න යන දෙය අපට පේනවා. පසුගිය කාලයේ සමාජයේ තැන් තැන්වල මාධ්‍ය නියාමනය පිළිබඳ සාකච්ඡාවක් තිබුණා. එහෙත් ආණ්ඩුව මාධ්‍ය නියාමනය පිළිබඳ කතිකාවට මුවා වෙලා කරන්න යන්නේ තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීමේ ක්‍රියාවලියක් බව ඉතා පැහැදිලියි. මේ පනත් කෙටුම්පතින් යෝජනා කරන ලෙසට මේ විද්‍යුත් නියාමන කොමිසමේ සාමාජිකයින් පස් දෙනෙක් සිටිනවා. දෙදෙනෙක් නිල බලයෙන් පත් වෙනවා. එක් අයෙක් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයායි. දෙවැන්නා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයායි. මේ තනතුරු දෙකම ඍජුවම ජනාධිපතිවරයා විසින් පත් කරන තනතුරුයි. මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් තිදෙනා පත් කරනු ලබන්නේත් ජනාධිපතිවරයා විසිනුයි. ඒ, ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතවයි. ඒ අනුව අවසාන වශයෙන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයින් 05දෙනෙක් විසින් මෙම යෝජිත කොමිෂන් සභාව පාලනය කරනු ලබනවා.
ජනාධිපතිවරයා විසින් නිල බලයෙන් පත් කරනු ලබන සාමාජිකයන් දෙදෙනා හැරුණු විට සෙසු සාමාජිකයන් තිදෙනා ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් පත් කළාට ඔවුන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ හෝ ව්‍යවස්ථා සභාවේ කිසිදු අනුමැතියක් අවශ්‍ය නැහැ. මේ කෙටුම්පතට අනුව ව්‍යවස්ථා සභාවට හුදු දැනුම් දීමකින් පමණක් ජනාධිපතිවරයාට ඔවුන් තිදෙනා ඉවත් කළ හැකියි. මේ පත් කරනු ලබන සාමාජිකයන් තිදෙනා, ජනාධිපතිවරයාගේ සිතැඟි සහ අභිලාෂයන් ඉටු කරන තාක් පමණක් මේ කොමිෂන් සභාවේ සාමාජිකත්වය දරන බව ඒ අනුව ඉතාම පැහැදිලියි.
මීට පෙර ආණ්ඩුවකට කොමිෂන් සභාවක සභාපතිවරයා ඉවත් කිරීමේ දුෂ්කරතාවයන් තිබුණා. නිදසුනක් ලෙස මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිපතිවරයාට ඍජුව හැකියාවක් තිබුණේ නැහැ. ඔහු ඉවත් කළ හැකිව තිබුණේ පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතියෙන් පමණයි. නමුත් වර්තමාන ආණ්ඩුව හා ජනාධිපතිවරයා ඒ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉවත් කරන තැනකට ගියා. ජනක රත්නායක පත් කරන ලද්දේ ආණ්ඩුවේ වුවමනාවන් අනුවයි. ඔහුම කියන පරිදි ගෝඨාභය ජනාධිපතිවරයාට මැතිවරණයේදී උදව් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරය ලැබෙනවා. ඒ දේශපාලන හිතවත්කම අනුව ඔහුව පත් කරනු ලැබුවත් වර්තමාන ජනාධිපතිවරයාගේ හෝ අමාත්‍යවරයාගේ සිතැඟියාවන් අනුව කටයුතු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුව ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කළා. එවැනි දුෂ්කරතා තිබියෙදීත් ආණ්ඩුව ඔහුව තනතුරින් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවේනම් කොමිසමේ සාමාජිකයන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන මොහොතක මෙම කොමිෂන් සභා සාමාජිකයන් පස්දෙනාම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ පදයට නැටවෙන රූකඩයන් බවට පත් වෙනවා.
එවගේම යෝජිත පනත් කෙටුම්පතට අනුව මෙම කොමිසමේ ක්‍රියාකාරිත්වය සඳහා ඝනපූර්ණය වන්නේ සාමාජිකයන් තිදෙනක්. මේ කොමිසමට අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් වෙනවා. මෙහි ක්‍රියාකාරී කොටස පවත්වා ගෙන යන්නේ ඔහුයි. මේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කරනු ලබන්නේ අමාත්‍යවරයා විසිනුයි. දැන් මේ රටේ විද්‍යුත් මාධ්‍යයන්හි විකාශන අඩංගුව පිළිබඳව තීන්දු ගැනීමේ සමස්ත බලය පැවරෙන්නේ මේ පිරිසටයි. මේ ක්‍රියාවලිය කර ගෙන යාමේදී එක් එක් විද්‍යුත් විකාශන ආයතනය නියාමනය කරනු ලබනවා. ඒ මෙම කොමිසම මගින් තිදෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටුවක් පත් කිරීම මගිනුයි. ඒ විමර්ශන කමිටුවට සාමාන්‍ය බලතල ඉක්මවන ලද අපරාධ විමර්ශන බලතල ලබා දී තිබෙනවා. ඒ අය විසින් යම් යම් පරීක්ෂණ සිදු කර ලබා දෙන වාර්තාව මත රූපවාහිනී හෝ ගුවන්විදුලි නාලිකාවල බලපත්‍රය අහෝසි කරන්නේද, තාවකාලිකව නතර කරන්නේද යන්න කොමිසම විසින් තීන්දු කරනවා.
මාධ්‍ය ආයතන විසින් ජාතික ආරක්ෂාවට, ජාතික ආර්ථිකයට, ජාතීන් අතර සමගියට සහ ආගමික සංහිඳියාවට හානි වන, තර්ජනයක් වන කවර හෝ දෙයක් කළහොත් එයට එරෙහිව විමර්ශනය කර මාධ්‍ය ආයතනයේ බලපත්‍රය තාවකාලිකව හෝ මුළුමනින්ම අහෝසි කිරීමට, බලපත්‍ර කාලය දිගු නොකර සිටීමේ බලයක් මේ කොමිසමට පැවරීමට ආණ්ඩුව උත්සාහ කරනවා. මේ පනත් කෙටුම්පතේ ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය යන වචන සඳහන් කර තිබුණාට ඒ සම්බන්ධයෙන් පැහැදිලි නිර්වචන මෙහි ඇතුළත් වී නැහැ. එහි තේරුම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් ජාතික ආරක්ෂාව හෝ ජාතික ආර්ථිකය පිළිබඳව සිතන පතන ආකාරය අනුව නෛතික තීන්දු ගැනීමේ බලයක් ලබා ගැනීම වෙනුවෙන් මෙම පනත කෙටුම්පත් කර තිබෙනවා.
උදාහරණයක් ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, මෑතකදී ජාතිය අමතා කරන ලද කතාවේදී ඔහුගේ කතාවේ හරය වූයේ මගේ ප්‍රතිපත්තිය විකිණීම, මට විකුණන්න ඉඩ දෙන්න, ඒකට බාධා කරන්න එපා කියන එකයි. ඔහු පැරණි උදාහරණවලින් කියන්න උත්සාහ කළේ විකිණීමේ ප්‍රතිපත්තියට ඒ කාලයේත් බාධා කළා ඒ නිසා මෙය විකිණීමට ඉඩ දෙන්න, මම මෙය 2048දී හදලා දෙන්නම් කියන එකයි. අපේ රටේ රාජ්‍ය ප්‍රතිපත්තිය වන්නේ ඒ මෙහොතේ රටේ රාජ්‍ය නායකයා හිතන පතන විදිහයි. ඔහු පත් වුණේ මහජන ඡන්දයකින්ද නැද්ද යන්න අදාළ වන්නේ නැහැ. ඔහුගේ කැමැත්ත කැබිනට් මණ්ඩලයේ තීන්දු බවට පත් වෙනවා. රාජ්‍යයේ තීන්දු බවට පත් වෙනවා. විකිණීම තමන්ගේ ප්‍රතිපත්තිය කර ගත් ජනාධිපතිවරයෙක් ඉන්න වෙලාවක මේ වගේ කොමිසමක් ක්‍රියාත්මක වුණොත් විකිණීමට එරෙහිව සිදුකරන උද්ඝෝෂණ පවා වාර්තා කිරීමට මාධ්‍ය ආයතනවලට නොහැකි වෙනවා. නිදසුනක් ලෙස සංචාරක කර්මාන්තයේ අය තමන්ගේ ප්‍රශ්න වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක් ගතහොත් ඒවා මහජනතාවට වාර්තා කරනු ලැබහොත් ආණ්ඩුවට අවශ්‍යනම් ජාතික ආර්ථිකය යන වචන දෙකට මුවා වී එම ආයතනවලට එරෙහිව මෙම කොමිසම මගින් ක්‍රියාමාර්ග ගනු ලැබිය හැකියි.
අනෙක් අතට මේ වචන පාවිච්චි කරන්න හදන දේශපාලන පරිසරය අපි තේරුම් ගත යුතුව තිබෙනවා. දැන් සිටින්නේ ස්වාධීන මැතිවරණ කොමිසමට ඡන්දය පවත්වන්න ඉඩ නොදෙන ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක්. මෙවැනි තත්වයක් යටතේ පත්කිරීමේ හා ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාට ලැබෙන කොමිසමකින් කොපමණ දේවල් කරනු ඇතිදැයි අප තේරුම් ගත යුතුව තිබෙනවා. මේ කොමිසම් සභා කෙටුම්පත තුළ ආණ්ඩුවේ අරමුණ ඉතාම පැහැදිලියි. මේ ආණ්ඩුවට ජනතාවගේ භාෂණයේ, අදහස් ප්‍රකාශ කිරීමේ, සමාගමයේ, රැස්වීමේ නිදහස අඩාල කරන්න, කප්පාදු කරන්න අවශ්‍ය වී තිබෙනවා. ආණ්ඩුව කෙටුම්පත් කළ ත්‍රස්ත විරෝධී පනත මගින් උත්සාහ දරන දෙය සමාජයට පැහැදිලියි. අයිසීසීපී පනත මගින් අද ආණ්ඩුව කරමින් සිටින්නේ කුමක්ද යන්නත් ඉතාම පැහැදිලියි.
ජනතාවට සත්‍ය තොරතුරු ගලා ගෙන යාම අඩාල කරන්න ආණ්ඩුවට දේශපාලනික අධිෂ්ඨානයක් තිබෙනවා. මේ පනත් කෙටුම්පත ඊට උදව් වන පනතක්. මේ පනත, විද්‍යුත් මාධ්‍ය ආණ්ඩුවට අවශ්‍ය ආකාරයකට පාලනය කර ගැනීම සඳහා ඒවා තුළ චිප් එකක් තැන්පත් කරනවා වගේ වැඩක්. මාධ්‍ය ආයතනවලට කරනු ලබන තර්ජනයක්. මාධ්‍ය ආයතන අතර තරගකාරිත්වය විසින් ජනතාවට බොහෝ තොරතුරු ඒමට මඟපාදා තිබෙනවා. නමුත් තරගකාරිත්වයක් ඇති වන්නේ මාධ්‍ය ආයතන පැවතුණොත් පමණයි. ඊළඟ වසරට මාධ්‍ය විකාශන බලපත්‍ර ලබා ගැනීම පිළිබඳ දෙගිඩියාවක් ඇතිවුවහොත් ආණ්ඩුවට හීලෑ වූ ප්‍රවේශයකට යාමට මෙම මාධ්‍ය ආයතන හිමිකාරිත්වයට සිදුවනවා. ආණ්ඩුව මෙම කොමිසමේ අවශ්‍යතාව වර්ණනා කරන්නේ බක ජාතකයේ කොකා ‘පස් පියුමෙන් සුසැදි විල’ ගැන මාළුවන්ට කියූ පරිදියි.
මෙවැනි මහජන ඡන්දයෙන් පත් නොවුණු, මහජනයා විසින් ප්‍රතික්ෂේප කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පත් වූ ජනාධිපතිවරයෙක් විසින් පත් කරන කොමිසමකට ඒ ජනාධිපති පත් කරන ඇමතිවරයාගේ අධ්‍යක්ෂ ජනරාල්වරයයෙකුටත් මේ රටේ මාධ්‍ය ආයතන නියාමනය කිරීමේ අයිතිය ලබා දීමට අප දැඩිව විරෝධය පළ කරනවා. මාධ්‍ය මගින් තොරතුරු ලබන සියලු ජනතාවට ආණ්ඩුවේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී, ජනමාධ්‍ය නිදහසට බාධා කරන කූට ප්‍රයත්නයට එරෙහිව දැනුවත්ව පෙළගැසෙන ලෙස අපි ආරාධනා කරනවා.
මේ වගේ පනතක් ගේන්න ජනතාව රනිල්ට අවසර දී නැහැ
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික චමින්ද ජයසූරිය
රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී සිටින්නේ අනුප්‍රාප්තිකයෙක් හැටියට. එහෙම නැතිව ඡන්දයෙනුත් පැරදිලා ගෙදර ගිය හාදයෙක් බව අමතක කර මේ වගේ මර්දනයට පනත් ගෙනෙනවා. එයාට මේ වගේ දේවල් කරන්න ජනතාව කිසිම අනුමැතියක් දී නැහැ. එවැනි තත්වයක් යටතේ තමන්ට වුවමනා මාධ්‍ය මර්දනය කරන්න මෙවැනි පනත් ගෙනත් තිබෙනවා. විකාශන අධිකාරී පනතේ තිබෙන ලක්ෂණ ප්‍රති ත්‍රස්ත පනත යටතේ ගෙන ආ වගන්ති වගේම බව දකින්න පුළුවන්. නිර්වචන ලබා දී නැහැ. ජාතික ආරක්ෂාව උදාහරණයක් හැටියට ගත්තොත් ඊට අදාළ නිර්වචන නැහැ. සාමය, සංහිදියාව, ආගම, ආර්ථිකය වගේ දේවල් සම්බන්ධයෙන් දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි විග්‍රහ කරනවා. මේ පනත යටතේ අපේ විග්‍රහයන් පවා නීති විරෝධී කරන්න පුළුවන්. මේ පනත යටතේ කටවල් වහලා එයාට ඕන දේවල් කරගෙන යාමේ වටපිටාව සකස් කරගැනීමට ගෙනයන මේ වැඩපිළිවෙලට අපි දැඩිව විරෝධය පළකරනවා.
ප්‍රගතිශීලී ජනතාව, මාධ්‍යවේදීන්, මාධ්‍ය හිමිකරුවන් එක්ව මීට එරෙහිව නැගී සිටිය යුතුයි
ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභික විමල් කැටිපේආරච්චි
ආණ්ඩුවේ කොමිෂන් සභා සම්බන්ධව ජනක රත්නායක කියන නම වැඩියෙන් භාවිතා වෙනවා. ජනක රත්නායක කියලා ජනප්‍රිය චිත්‍රකතා ශිල්පියෙක් ලංකාවේ පළමු චිත්‍රකතා පත්‍රයට පාට පාට හීනයක් කියලා චිත්‍ර කතාවක් ඇන්දා. මේ ආණ්ඩුවටත් පාට පාට හීනයක් තියෙනවා. ආර්ථික මර්මස්ථාන අවිචාරාත්මකව පොද්ගලීකරණය කරන, ප්‍රතිත්‍රස්ත පනත ගෙනඑන, තමන්ට විරුද්ධ බලවේග මර්දනය කරන වගේම මාධ්‍ය දඩයම් පනත් ගෙනල්ලා විරුද්ධවාදීන්ගේ කටවල් වහන්න, තමන්ගේ ගමන යන්න පාට පාට හීනයක් ආණ්ඩුවට තියෙනවා. හැබැයි ජාතික ජනබලවේගය හැටියට අපි ස්ථීරව කියන්නේ ආණ්ඩුවේ ඒ පාට පාට හීනය බොඳ කරනවාමයි කියලා.
මිනිසුන්ගේ කටවල් වහලා, මාධ්‍ය ආයතනවල කටවල් වහලා, මාධ්‍ය ආයතන බලපත්‍රය ඇපේට තියාගෙන අන්තර්ගතය පාලනය කරන දඩයමට ඉඩ දෙන්න බැහැ. ජනමාධ්‍ය සම්බන්ධයෙන් අපිට සංවාදයක් තිබෙනවා. විශේෂයෙන්ම ජාතිවාදය හා ආගම්වාදය රට තුළ වර්ධනය කරනකොට මාධ්‍යවල හැසිරීම ගැන අපට විචාරයක් වගේම සංවාදයක් තිබෙනවා. මැතිවරණයක් කිට්ටු වෙනකොට විශාල ශබ්ද ඇහිලා යම් යම් දේවල් සිද්ධවෙන එක ගැන විචාරයක් වගේම සංවාදයක් අපට තිබෙනවා. ඒ සංවාදය සංස්කෘතික සහ දේශපාලන තලයේ තබාගනිමින් විවෘත ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක තබා ගන්නවා වෙනුවට මාධ්‍යවේදීන්, මාධ්‍යකරුවන් සහ මාධ්‍ය ආයතන දඩයම් කිරීම දක්වා ආණ්ඩුව යොමුවන්නේ ඇයිද යන්න පැහැදිලියි. හීලෑ වෙනවානම් දඩයම් අකුළාගන්නවා. මේ තත්වය අපිට පෙනෙනවා. ඒ නිසා මේ රටේ ප්‍රගතිශීලී ජනතාව, මාධ්‍යවේදීන්, මාධ්‍ය හිමිකරුවන් සමග එක් වී මෙයට එරෙහිව නැගී සිටිය යුතුයි. ජනක රත්නායක මහත්මයාම ‘කබලෙන් ලිපට’ කියලා චිත්‍රකතාවක් ඇන්දා. පාට පාට හීනයක් දකින ආණ්ඩුවට අපි කියන්නේ ඔයගොල්ලො කබලෙන් ලිපට වැටීමට නියමිත බවයි. ඒ නිසා මාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස අවධාරණය කරනවා.
මාධවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්
ජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර දී තිබෙන අයිතියක්. ඒ අයිතියට අත තියන්න ආණ්ඩුව සූදානම් වීම පරදවන්න අධිකරණ ක්‍රියාමාර්ග ගන්න අපි සැලසුම් කරමින් සිටිනවා. එතනින් එහා ගිය පුළුල් මහජන කතිකාවක් ඇති කරන්නත් අපි කටයුතු කරනවා. මේ සූදානම් වෙන්නේ හුදු ජනමාධ්‍යයට අත තැබීමේ ක්‍රියාවලියකට පමණක් නෙවෙයි. ඔවුන්ගේ සමස්ත දේශපාලනයේ කොටසක් හැටියට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කරන්නයි. අයි.එම්.එෆ් එකඟතාව අනුව දූෂණ විරෝධී පනතක් ගෙන එන්න සූදානම් වෙනවා. ඒ පනතේ හරය දූෂණ චෝදනා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පැවැත්වීම නොව පැමිණිලි කරන්නන් අධෛර්යමත් කිරීමයි. ජනතාවගේ ආර්ථික ප්‍රශ්න විසදන්න බැරි ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය හකුළා අදහස් ප්‍රකාශ කිරීම පාලනය කරන්න දරන උත්සාහය වැළැක්වීමේදී මාධ්‍යවේදීන්ටත් මාධ්‍ය ආයතනවලටත් කාර්යභාරයක් පැවරී තිබෙනවා.
පළාත්පාලන මැතිවරණයට දින නියම කර අවස්ථා දෙකකදී එය කල් දමා දැන් දින නියමයක්වත් නැතිව තිබෙන තත්වයක් තුළ අටවෙනිදා මැතිවරණ කොමිසම ඉදිරියට ගිහින් නියමිත පරිදි මැතිවරණය පවත්වන ලෙස උද්ඝෝෂණයක් කරනවා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබාදෙන ලෙසත් නියමිත පරිදි මැතිවරණය පවත්වන ලෙසත් බලපෑම් කරමින් සවස 03.00ට උද්ඝෝෂණය ආරම්භ කරනවා. ඊට පස්සේ විවිධ ප්‍රදේශවලදී අපේක්ෂකයන් ප්‍රමුඛ කරගත් ජනතා සහභාගිත්වයෙන් උද්ඝෝෂණ පවත්වනවා.
………………………………………….
දකුණේදී වගේම උතුරේදීත් විවිධාකාරයෙන් මේ කණ්ඩායම් ජාතිවාදය උපයෝගී කරගන්නවා. උතුරේ සිදුවීම් දකුණේ ජාතිවාදය අවුස්සන්න යොදාගන්නවා වගේම දකුණේ සිදුවීම් සහ ප්‍රකාශ උතුරේ ජාතිවාදය අවුස්සන්නත් යොදාගන්නවා. එක් ජාතියක් මත බලහත්කාරය පටවන, එක් ජාතියකට අවමන් සහගත ලෙස හෙළා දකින සිදුවීම් අපි හෙළාදකිනවා. දැන් සති කිහිපයක සිට මෙවැනි සිදුවීම් වටයක් දියත් කෙරෙමින් තිබෙනවා. තරාතිරම නොබලා ඔවුන් සම්බන්ධයෙන් රටේ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ සිදුවීම්වලින් රටට සිදුවන හානිය නොසලකන ආණ්ඩුව තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් මේවා යොදාගන්නවා.
@Lanka Truth