Latestදේශීය

අජිත් ප්‍රසන්නට තවත් මාස 6ක සිරදඩුවමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් විශ්‍රාමික යුද හමුදා මේජර්, නීතිඥ අජිත් ප්‍රසන්ත මහතාට අභියාචනාධිකරණය විසින් අද (08) මාස 06ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

එම සිරදඬුවම අජිත් ප්‍රසන්න මහතා දැනට ගෙවමින් සිටින වසර 04ක සිරදඬුවම් කාලය අවසන්වීමෙන් පසුව ක්‍රියාත්මක වන බවත් තීන්දුවේ සඳහන් වුණි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදුනි.

වගඋත්තරකාර අජිත් ප්‍රසන්න මින්මතුවට අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

මෙම සිරදඬුවම්වලින් නිදහස් වී ගිය දිනයක අධිකරණය විවේචනය වන ආකාරයේ ප්‍රකාශ සිදු නොකළ යුතු බවටත් මෙහිදී විනිසුරුවරයා විසින් වගඋත්තරකාර අජිත් ප්‍රසන්න මහතාට තරයේ අවවාද කර ඇත.

2019 වසරේ දෙසැම්බර් මස 06 වනදා සහ එම මස 08 වනදා යූටියුබ් නාලිකා ඔස්සේ මහෙස්ත්‍රාත්වරුන් කිහිපදෙනකුගේ තීරණ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශවලින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් වගඋත්තරකාර අජිත් ප්‍රසන්නට එරෙහිව චෝදනා දෙකක් යටතේ චෝදනා පත්‍ර ගොනු කර තිබුණි.

එම චෝදනාවලට වරද පිළි ගනිමින් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබාදුන් අජිත් ප්‍රසන්න මහතා තමන් මින් මතුවට අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු නොකරන බවට ප්‍රතිඥාවක් ලබාදී තිබේ.

දිවුරුම් ප්‍රකාශයක් තුළින් ලබාදී තිබු එම ප්‍රතිඥාව සලකාබැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් එල්ල කර තිබූ චෝදනා දෙකකට අජිත් ප්‍රසන්න මහතා වරදකරු කරන බව තීරණය කර තිබුණි.

ඒ අනුව එක් එක් චෝදනාවට මාස 6 බැගින් මාස 12ක සිරදඬුවම් නියම කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම සිර දඬුවම මාස 6 කින් ගෙවී යායුතු බවට නියෝග කර තිබුණි.

කෙසේවෙතත් අජිත් ප්‍රසන්න මහතා දැනට විඳිමින් සිටින වසර හතරක සිරදඬුවම අවසන්වීමෙන් පසුව මෙම මාස හයක සිරදඬුවම ක්‍රියාත්මකවීම ආරම්භ වන බවත් තීන්දුවේ සඳහන් වුණි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරනු අජිත් ප්‍රසන්න මහතාට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 04ක සිරදඬුවම් නියම කර තිබුණි.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?