Latestදේශීය

තවත් කෝටි 4.5ක් අතුරුදන්

වැලිසර ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ව්‍යාපාරික ප්‍රජාවගෙන් එකතු කළ රුපියල් කෝටි 4.5ක (රු ලක්ෂ 450) මුදල අමාත්‍යාංශයේ තිබී අතුරුදන් වී ඇති බවත් ඒ පිළිබඳව පාර්ලිමේන්තු කෝප් කමිටුව දැනුම්වත් කළද මෙතෙක් කිසිම අවධානයක් යොමු නොකිරීම බරපතළ ප්‍රශ්නයක් බවත් ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ ප්‍රධාන ලේකම් රොෂාන් කුරේ පවසයි.

ඔහු ඒ බව පැවැසුවේ දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙඳ සංගම්, කොළඹ මැනින් වෙළෙඳ සංගමය හා ඒකාබද්ධ කරමින් දඹුල්ල පෞද්ගලික හෝටලයක දී පැවැති නිලධාරීන් පත්කර ගැනීමේ නිලවරණයෙන් පසුව විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

ආර්ථික මධ්‍යස්ථානවල ව්‍යාපාරිකයන්ගේ අයිතිය රජය විසින් අහිමිකර ඇති අතර ඇමැතිවරයාගේ සහ ජනාධිපතිවරුන්ගේ අවශ්‍යතා පරිදි බදු කාලසීමා වෙනස් කරන බවද ඔහු පවසයි.

විදේශ ව්‍යාපාරිකයන්ට අවුරුදු 99කට අයිතිය ලබාදෙන රජය වසර ගණනාවක් තිස්සේ ගොවීන් සමග ගනුදෙනු කරන දේශීය ව්‍යාපාරිකයන්ට කොකා පෙන්වන බවත් ප්‍රධාන ලේකම් පැවැසීය.

ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථානය සංගමයේ සභාපතිවරයා ලෙස පත්වූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති රෝහණ බණ්ඩාර මාධ්‍ය හමුව අමතමින් සඳහන් කර ඇත්තේ කෘෂිකර්මය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් වර්තමාන රජය ක්‍රියාත්මක කර තිබෙන බවට සැක මතුවන බවය. ව්‍යාපාරිකයාත් ගොවියාත් අකර්මණ්‍ය කරමින් ඉන්දියාවෙන් එළවළු ආනයනය කිරීමේ ක්‍රමවේදයකට යන බවට සැකයක් මතුවන බවද ඔහු පවසයි. බිත්තර ගොවිපළ විනාශ කළ ආකාරයටම ගොවියා විනාශ කිරීම් සිදු කරන්නේ යැයිද ඔහු චෝදනා කරයි.

එහි මහ සභා නියෝජිතයකු වූ අයි.ජී විජේනන්ද එළවළු ඇසුරුම් කිරීම කිලෝ 25කට සීමා කිරීමේ නීතියක් රට තුළ ක්‍රියාත්මක විය යුතු බවට යෝජනා කරයි.

ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ භාණ්ඩාගාරික නිමල් අත්තනායක මහතා මාධ්‍ය හමුව අමතමින් පවසා ඇත්තේ කෘෂිකර්මාන්තය පිළිබඳව රජය කිසිදු අවධානයක් යොමු නොකර ආර්ථික මධ්‍යස්ථාන විනාශ කරමින් සිටින බවය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?