Latestදේශීයමතවාද

මුත්තයියා සහදේවන්, පිච්චෙයි ජේසුදාසන් එක පන්තියේ අය

(කේ සංජීව)

රුවන් නෙලූ සහෝදරයා ලියලා තිබුණ මුත්තයියා සහදේවන් ගැන කියෙව්වා. ඇත්තටම හද සන්තානයම කකියවන ලිපියක් ඒක. රාජ්‍යයකට මිනිහෙක්ට මෙහෙම කරන්න පුලුවන්ද? ඒකයි මට තිබෙන මූලික ප්‍රශ්නය. මුත්තයියා සහදේවන් හිටපු විදෙස් අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගන්නේ කදිරගාමර් ඝාතනයට ලක්වුණ ගොඩනැගිල්ලට ආසන්න ගොඩනැගිල්ලක ජනේලයකට කරදරයක් වුණ ගසක අත්තක් කපාබිම හෙළපු හේතුවට. මුත්තයියා සහදේවන්ට මේ අතුකප්පාදු රාජකාරිය පවරපු මිනිසා තවමත් නිදහසේ සුවෙන් ජීවත් වෙනවා. එහෙත් අත්ත කපාහෙළු සහදේවන් සිය සුසුම් හෙළලා අවසන් ගමන් ගිහිං. මම කාලයක් තිස්සේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන කරුණු සොයමින් ඉන්නවා. මේ වෙනකොට ඒ පිළිබඳව වාර්තා චිත්‍රපටයක් රූපගතකරගෙන එඩිට් කරගන්න බැරිව කාලය ගතකරමින් සල්ලි සොයමින් ඉන්නවා. ලංකාවේ වාර්තා චිත්‍රපටයක් කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. ඉතිං මට මේ කරුණු සෙවිල්ලෙදි මුත්තයියා සහදේවන් වගේම අසරණයෙක් මුණගැහෙනවා. ඔහුගේ නම පිච්චෙයි ජේසුදාසන්. පිච්චෙයි ජේසුදාසන් මැරෙන්නෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ ඉන්නකොට වැලිකඩ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන පරීක්ෂණ ඉස්සරහට යනකොට සැකකටයුතු දූරකථන අංක 5ක් ගැන තොරතුරු හමුවෙනවා. මේ දූරකථන සම්බන්ධතා පහම අරගෙන තිබෙන්නේ පිච්චෙයි ජේසුදාසන්ගේ නමට තියෙන අයිඩී එකකට. මේ හේතුව නිසාම ජේසුදාසන් අත්අඩංගුවට පත්වෙනවා. ජේසුදාසන් කියලා කියන්නේ ජංගම ගරාජ් එකක් කරගෙන දුකසේ නුවරඑළියේ ජීවත්වුණ දමිලයෙක්. පස්සේ තොරතුරු අනාවරණය වෙනවා බුද්ධි අංශ සාමාජිකයෙක් වුණ කන්දේ ගෙදර පියවංශ නැමැත්තා ජේසුදාසන්ට බොන්න දීලා ඔහුගේ හැඳුනුම්පත අරගෙන ඒකෙන් තමයි මේ දූරකථන සිම්පත් අරගෙන තිබෙන්නේ කියලා. ඒත් ඒ වෙනකොට ජේසුදාසන් අසාධාරණ විදිහට දීර්ඝ කාලයක් හිරේ ඉඳලා සිරගත ජීවිතය අස්සෙම හර්දය ආබාධයකින් ජීවිතේට සමුදීලා. අපි මේ කතාකරන කන්දේ ගෙදර පියවංශත් අවුරුදු එක හමාරක් සිරේ තමයි ඉන්නේ. හැබැයි ජේසුදාසන්ට වගේ නෙවෙයි ඔහුට මේ මුලු සිරගත කාලෙම වැටුප හම්බවෙනවා. දිමනා ගෙවනවා. ඒ යුද්ධ හමුදාවෙන්. පස්සේ කන්දේගෙදර පියවංස නිදහස් වෙනවා. ජේසුදාසන් මරණය වැළඳගන්නවා.

මේක තමයි ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ ස්වරූපය. කේපී වගේ ඉහළම සිටි එල්ටීටීඊ සාමාජිකයෝ නිදහස්වෙලා නිදහසෙන් පස්සේ පාලකයෝ එක්ක සුරතලෙන් කාලය ගතකරනකොට මුත්තයියා සහදේවන් වගේ අය හිර ගෙදර අස්සේ මරු වැළැඳ ගන්නවා. අරුරන් වගේ අය දශක ගානක් ජීවිතේ වැලිකඩ අස්සේ නතරකරගෙන තියාගෙන ඉදලා නිදහස ලබාගන්නවා. පිච්චෙයි ජේසුදාසන් වගේ අය තමන් කිසිම විදිහට සම්බන්ධ නොවුණ ඝාතනයක සාක්ෂිකාරයෙක් වෙලා වැලිකඩ අස්සේ මරණය වැළඳ ගන්නවා.

මේ ක්‍රමය වෙනස් කරන්න බැරිද අපිට?

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?