Latestදේශීය

ගෙවුනු මාස 6ට වෙඩිතැබීම් 34ක් මරණ 20ක්

ඉකුත් ජනවාරි මස සිට මේ දක්වා ගත වූ මාස 06 තුළ දිවයින පුරා වෙඩි තැබීම් 34ක් වාර්තා වී ඇතැයිද මෙම සිද්ධිවලින් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් 13 දෙනෙකු තුවාල ලබා ඇතැයිද පොලිස් මූලස්ථානය කියයි.

ගිය වසරේ පමණක් වෙඩි තැබීම් 60කට ආසන්න සංඛ්‍යාවක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව කියයි.

සංවිධානාත්මක අපරාධකරුවන් සහ වෙනත් ආකාරයේ වෙඩි තැබීම් මෙම සංඛ්‍යාවට අයත් බව කියන හෙතෙම, ඉකුත් 2022 වසරේ දිවයින පුරා වාර්තා වූ මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 559ක් බවද අනාවරණය කළේ ය. මින් මනුෂ්‍ය ඝාතන 493ක් විසඳා ඊට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු කීවේ ය.

2023 ජනවාරි මස සිට මේ දක්වා වාර්තා වී ඇති මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 255කි.

ඉකුත් මාස 06 තුළ සිදු වූ වෙඩි තැබීම් 34 තුළ සංවිධානාත්මක අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධ වී සිදුකරන ලද වෙඩි තැබීම්ද ඇති බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා, පෞද්ගලික ආරවුල් නිසාත් අනියම් ප්‍රේම සබඳතා නිසා සිදුවන වෙඩි තැබීම්ද ඇති බව කීවේ ය.

කෙසේ වෙතත්, ස්වයංක්‍රිය ගිනි අවිවලින් සිදුකරන වෙඩි තැබීම් බොහොමයක් සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදු කරන ලද ඒවා බවද සඳහන් කළේ ය.

2023 වසරේ සිට මේ දක්වා වාර්තා වූ මනුෂ්‍ය ඝාතන 255න් මනුෂ්‍ය ඝාතන 223ක් අපරාධ විසඳා අවසන් බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අවධාරණය කළේ ය.

මෙම සිද්ධීන්වලට අදාළ වෙඩික්කරුවන්, ගිනිඅවි, ඔවුන්ගේ වාහන සහ සහය දක්වන්නන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවද හෙතෙම අවධාරණය කළේ ය.

මේ වනවිට ඉකුත් වසරට වඩා මේ වසරේ මිනිස් ඝාතනවල වැඩි වීමක් මෙතෙක් පෙන්නුම් නොකරන බවත් ගිය වසරට සමාන තත්වයක් මේ වනවිට නිරීක්ෂණය වන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අවධාරණය කළේය.

@මව්බිම

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?