Latestදේශීය

අපිට වඩා දුක්වින්දේ දරුවෝ

“අපි සේවයේ යෙදී සිටි කාලයේ අපට වඩා දුක් වින්දේ අපේ දරුවන් සහ පවුල්වල සාමාජිකයන්” යැයි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ පසුගිය 18 වනදා අනුරාධුපරයේදී පැවති විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර

“මීට අවුරුදු තිස්පහකට විතර කලින් ඉඳලා මේ රටට කරන්න තිබෙන උතුම්ම දේ අපි කළා. ඊට පස්සේ විශ්‍රාම සුවයෙන් ඉන්න බැරි නිසයි අපි මේ අවස්ථාවට සහභාගි වෙන්නේ. මෙතැනට එකතු වී ඉන්න සුවිශේෂී අය ජාතික ජන බලවේගයේ විද්වත් සංවිධානවල තවත් එක සංවිධානයක් හැටියට ශක්තිමත්ව ඉදිරියට එනවා. ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් අපේ ප්‍රතිපත්තිය පසුගිය පෙබරවාරි 11 වැනිදා අපි එළිදැක්වූවා. වගවීම සහ වගකීම යන ප්‍රධාන අංශ දෙකම ඊට අඩංගුයි. අද දේශපාලනඥයන් කතා කරන්නේ ප්‍රභූ පංතියට අනුගත වුණු, එයින් වැජඹෙන පිරිසක් හැටියට මිස මේ රටේ දරුවන්ට යහපත් අනාගතයක් හදන්න නොවෙයි. ඒ නිසා අපි සියලු දෙනාට අයිතියක් තිබෙනවා, මේ තත්වය වෙනස් කරන්න. ඒ වෙනුවෙන් දැක්මක්, අධිෂ්ඨානයක් සහ හැකියාවක් තිබෙන්නේ ජාතික ජන බලවේගයට පමණයි. සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදිලා ප්‍රතිපත්ති ලෙස ගෙනැවිත් තිබෙන වැඩපිළිවෙළ වටා ජනතාව විශ්වාසයෙන් එකතු වෙනවා. අපි ගරු කරන්නේ ඒ ප්‍රතිපත්තිවලට. ඕනෑම ආයතනයක් පවතින්නේ ඒ ආයතනයේ සිටින මානව සම්පත් නිසයි. නමුත්, ඒ මානව සම්පත මේ දක්වා වැරැදි පාරවල්වල ගෙන යමින්, මහ බැංකුව හිස් කරන, පෞද්ගලික ගිණුම් පිරෙන ක්‍රමයක් මේ දක්වා අනුගමනය කර තිබෙන්නේ. මෙතැන රැස්වී සිටින කිසි කෙනෙක් එවැනි කටයුතුවලට දායක වී නැහැ. අපි සක්‍රිය සේවයේ යෙදී සිටි කාලයේ අපට වඩා දුක් වින්දේ අපේ දරුවන් සහ පවුල්වල සාමාජිකයන්. ටෙලිෆෝන් කෝල් එකක් ආවත්, කතා කරන්නේ අසුභ ආරංචියක්ද කියන තැතිගැන්මෙන්. ඒ නිසා අපට ඉතාම ලොකු වගකීමක් තිබෙනවා, මේ රටේ අනාගතයට ජීවිතයක් දෙන්න. ඒ නිසයි අපි ජාතික ජන බලවේගයට සමබන්ධ වුණේ. ඒ හැර අපි කිසි කෙනකුට තනතුරු, තානාන්තර ගන්න නොවෙයි.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?