Latestවිදේශීය

පුටින්ගෙන් ප්‍රහාරකයින්ට විකල්ප 3ක්

ප්‍රිගෝසීන්ගේ වැග්නර් බළකාය පසුගිය සති අන්තයේ දියත්කළ සන්නද්ධ කැරැල්ලේ අරමුණ රුසියාව ලෙයින් නැහැවීම බව ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසයි.

පසුගිය සෙනසුරාදා සිදුවූ සන්නද්ධ කැරැල්ලෙන් පසු ප්‍රථම වරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතූ ජනපති පුටින් එය සංවිධානය කළ නායකයන් නීතිය ඉදිරියට පමුණුවන බවට ප්‍රතිඥාවක් ද ලබාදුන්නේය. 

කෙසේ නමුත් වැග්නර් හමුදාවේ සෙබළුන් දේශ හිතෛශීන් ලෙස හැඳින් වූ ජනපති පුටින් ඔවුන්ට විකල්පයන් තුනක් ද ඉදිරිපත් කළේය. 

ඒ රුසියානු නිත්‍ය හමුදාවට එක්වීම, සිය නායක ප්‍රිගෝසීන් බෙන් බෙලරූස් රාජ්‍යය වෙත යාම හෝ නිවෙස් වෙත යාමය. 

ජනපති පුටින් මෙම කැරැල්ල සංවිධානය කළ පුද්ගලයෙකු ලෙස වැග්නර් බළකායේ නිර්මාතෘ යෙව්ගේනි ප්‍රිගෝසින් නම් කළේ නැත.

වැග්නර් බළකාය යනු, රුසියානු නිත්‍ය සන්නද්ධ හමුදා සමග එක්ව යුක්‍රේනයේ සටන් වඳින පෞද්ගලික හමුදාවකි. 

පැය 24කට අඩු කාලයකදී බෙලරූස් ජනාධිපති ලුකචෙන්කෝගේ මැදිහත්වීමෙන් අවසන් වූ සන්නද්ධ කැරැල්ලලේදී වැග්නර් බළකාය දකුණු දිග රුසියාවේ රොස්ටොෆ් නගරය අත්පත් කරගත් වැග්නර් බළකාය මොස්කව් බලා නික්මුණේ රුසියානු හමුදා නායකත්වයට අභියෝග කරමිනි. 

ඒ සම්බන්ධයෙන් වැග්නර් නායක ප්‍රිගෝසීන් ද පිළිතුරු ප්‍රකාශයක් සිදුකර තිබේ. 

විනාඩි 11ක හඬ පටයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, වැග්නර් බළකාය සිය ඍජු ආධිපත්‍යයට ගැනිමට රුසියානු හමුදාව දැරූ උත්සාහයට ප්‍රතිචාරයක් ලෙස එය සිදුකළ බවය. 

ස්වෙච්ඡා සන්නද්ධ කණ්ඩායම්වලට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ නොක්ත්‍රාත් ගිවිසුම්වලට එළඹෙන ලෙස මේ මස මුලදී දැනුම්දීමක් තර තිබූ අතර එය වැග්නර් බළකාය තම ග්‍රහණයෙන් ගිලිහී යාමට හේතුවිය හැකි බව ප්‍රිගෝසින්ගේ අදහස වී තිබේ.

යුක්‍රේන යුද්ධයේදී රුසියානු ආරක්ෂක හමුදා නායකයන් සිදුකළ වැරදිවල ප්‍රතිචාර දැක්වීම ද සිය නැගී සිටීමේ අරමුණක් බව ප්‍රිගෝසීන් පවසා තිබේ.

එහෙත් වැග්නර් බළකාය සැමවිටම රුසියාවේ අභිලාෂයන් අනුව කටයුතු කර ඇති බව ද ඔහු අවධාරණය කළේය.

වැග්නර් හමුදා මොස්කව් බලා පැමිණෙන මඟ අසුරාලීම රුසියානු යුද ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානාද යොදවනු ලැබූ අතර ඉන් යානා කිහිපයක්ද වැග්නර් බළකාය විසින් බිම හෙළා තිබුණි.

එලෙස බිමහෙලු යානා අතර MI-8 වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා 03ක් සහ IL-18 යානයක් සහ එහි කාර්ය මණ්ඩල ද සිටී.

රුසියානු ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය නාලිකාවකට එක්කර තිබූ සටහනක දැක්වූනේ වැග්නර් කැරැල්ලේදී රුසියානු ගුවන් නියමුවන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවය. 

එම සටහන ඉදිරිපත් කර තිබුණේ මිලියනයකට වැඩි ග්‍රාහක සංඛ්‍යාවක් සහිත රයිබර් නමැති යුද බ්ලොගර් කෙනෙකු විසිනි.

රුසියානු රජය මෙලෙස සිය ගුවන්යානා සහ හෙලිකොප්ටර් යනා වැග්නර් බළකාය විසින් බිමහෙළීම ගැන නිල ප්‍රකාශයක් සිදුනොකළ ද ජනපති පුටින් සිය කතාවේදී කැරැල්ලේදී දිවිදුන් රුසියානු ගුවන් නියමුවන්ට බුහුමන් පුදකළේය.

එම නියමුවන් දේශහිතෛශී සහෝදරත්වයක් ප්‍රදර්ශනය කළ බව ජනපති පුටින් මෙමඟින් පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 

කැරැල්ල මඬපැවැත්වීම සඳහා කටයුතු කළ ආරක්ෂක හමුදාවන්ට සහ රුසියානු ජනතාවට ස්තූති කළ ජනපති පුටින් පිතෘභූමිය ආරක්ෂා කිරීම සඳහා එක්සත්ව සිටින ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටී. 

රුසියාව තුළ අභ්‍යන්තර අර්බුදයක් ඇතිකිරීම සඳහා දරන කිසිඳු තර්ජනයකට, Blackmail කිරීමකට යටත් නොවන බව ජනපති පුටින් අවධාරණය කළේය. 

සතුරන් රුසියාව ලේ විලක් වනු දැකීමට අපේක්ෂා කළ ද රුසියාවේ පැවතීමට තර්ජනයක් එල්ල කළ පුද්ගලයින්ට දඬුවම් පමුණුවන බව ද ජනපති පුටින් වැඩිදුරටත් සඳහන් කළේය.

බාහිර තර්ජනවලට රුකුල් දෙමින් දියල් කළ කැරැල්ල රුසියාව තුළ බෙදීමක් ඇතිකිරීමේ ප්‍රයත්නයක් ලෙස ජනපති පුටින් හැඳින් වූයේය. 

මේ නිසා ලේ වැගිරීමක් වළක්වාලීමට තමා ඍජු නියෝග ලබාදුන් බවත් අවශ්‍ය පියවර ගනු ලැබූ බවත් ජනපති පුටින් කියා සිටියේය.

සිය මොස්කව් ගමන නතර කළ ප්‍රිගොසින් බෙලරූස් රාජ්‍යය වෙත යාමට එකඟවුයේ එරට ජනාධිපති ලුකචෙන්කෝගේ මැදිහත්වීමෙනි. 

එහිදී ප්‍රිගෝසීන්ට එරෙහිව කැරලි චෝදනා ගොනුනොකිරීමට ජනපති පුටින් එකඟ වුණි.

එහෙත් කැරැල්ලේ සංවිධායකයන් නීතිය ඉදිරියට පමුණුවන බවට ජනපති පුටින් කළ ප්‍රකාශය තුළින් අදහස්වන්නේ කුමක් ද යන්න තවමත් පැහැදිලි නැත.

රුසියානු ජනාධිපතිවරයා ජාතිය අමතා සිදුකළ කතාවේදී බෙලරුස් ජනාධිපති ලුකචෙන්ගේට තුති පිදීමට අමතක කළේ නැහැ.

මේ අතර යුක්‍රේන යුද්ධයේ ගුවන් ප්‍රහාරක මෙහෙයුම් සඳහා පෙරහුරුවක් ලෙසින් රුසියානු ජෙට් ප්‍රහාරක යානා බොල්ටික් මුහුද ඉහළ අහසේ අභ්‍යාසයක නිරත වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

ප්‍රහාරක සහ විශේෂ මෙහෙයුම් සඳහා ප්‍රහාරක ජෙට් යානා සුදානම් කිරීම එහි අරමුණ බව එමඟින් ප්‍රකාශ කර තිබේ.

Su -27 වර්ගයේ එම ප්‍රහාරක ජෙට් යානා බොල්ටික් මුහුද ඉහළ අහසේදී අංකේත සතුරු යානා ඉලක්ක වෙත කෘෘස් මිසයිල සහ අනෙකුත් ප්‍රහාරක අවි අත්හදා බැලූබව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

බොල්ටික් වෙරළට මුහුණලා පෝලන්තයට සහ ලිතුවේනියාවයට සීමා වූ රුසියාවට අයත් කලිනින්ග්‍රාඩ් ප්‍රදේශයේ මෙම ප්‍රහාරක ජෙට්යානා ස්ථානගත කර ඇත්තේ පැය 24ක් පුරා මෙහෙයුම් සඳහා යොගත හැකි ආකාරයෙනි.

මේ අතර නේටෝ සංවිධානය කළ ඉල්ලීමකට අනුව ලිතුවේනියාවේ සිය හමුදා සෙබළුන් 4,000ක් රැඳවීමට ජර්මනිය එකඟ වී තිබේ.

නේටෝ සාමාජිකයෙකු ලෙස ලිතුවේනියාව මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ විශේෂයෙන් රුසියානු නාවික හමුදාවේ බෝල්ටික් බලඇනිය ද එහි රඳවා තිබේ.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?