Latestදේශීය

ජූඩ් ජයමහට දුන් ජනාධිපති සමාව

කොළඹ රෝයල් පාක් ඝාතන සිද්ධියට මරණ දඬුවම නියම වූ ජූඩ් ජයමහව ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක් සිදුකර තිබේ.

එමගින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ අදාළ පුද්ගලයා නිදහස් කරනු ලැබුවේ සියලු ක්‍රමවේදයන්ට යටත්ව ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුකූලව බවය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදුකර තිබුණි.

ඒ, අදාළ විත්තිකරුට ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (13) යලි විභාගයට ගත් අවස්ථාවේදීය. 

මෙම පෙත්සම් විභාගය එස්. තුරෛරාජා, යසන්ත කෝඳාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුමඩුල්ල ඉදිරියේ පැවැත්වෙයි.

එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුට සමාව ප්‍රදානය කිරීම මීට පෙර සිටි ජනාධිපතිවරු ක්‍රියාකළ ආකාරයටම කටයුතු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ පැවරී තිබෙන බලතල ප්‍රකාරව සිදුකර ඇතැයි සඳහන් කර ඇත.

මෙම පෙත්සම්කරුට සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සිට බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

මෙම සමාව ප්‍රදානය කිරීමට පෙර මෙම විත්තිකරු ඇතුළු මරණීය දණ්ඩනය නියම වී සිටි පුද්ගලයින් 70 දෙනකුගේ දඬුවම්, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දක්වා 2016 වසරේ දී ලිහිල් කෙරුණු බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා හිටපු ජනාධිපති සිරිසේන මහතා විසින් එම දඬුවම් ලිහිල් කිරීම සිදුකරන ලද්දේ එවක අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ නිර්දේශ අනුව බවත් පවසා ඇත.

මෙහිදී ප්‍රශ්නයක් මතුකළ විනිසුරු යසන්ත කෝඳාගොඩ මහතා “මෙම සමාව ප්‍රදානය කිරීමේ දී නිසි නීතිමය පටිපාටිය අනුගමනය කර නොමැති බවට චෝදනා නැගෙනවා වේදැයි” විමසා තිබේ.

ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥවරයා හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව නිසි පටිපාටිය අනුගමනය කරමින් මෙම සමාව ප්‍රදානය කර තිබෙන බවත් ඔහු කිසිදු අවස්ථාවක අත්තනෝමතික ලෙස කටයුතු කර නොමැති බවත් අවධාරණය කර තිබුණි.

ඉන් පසුව පෙත්සම වැඩිදුර විභාගයට ලබන 17 වනදා තෙක් කල්තබා තිබේ.

පෙත්සම්කාර සංවිධානය කියා සිටින්නේ රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමේ දී ජනාධිපතිවරයා විසින් නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බවය.

මේ තුළින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ලබාදුන් මෙම සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?