Latestදේශීයමතවාද

සුනිල් කියන දේශපාලනය යනු කුමක් ද?

(විදර්ශන කන්නන්ගර)

සිරස නාලිකාවේ වැඩසටහනකදී සුනිල් වටගල කියන්නේ ඔහුද සාමාජිකයෙකු වන ජවිපෙ/ජාජබ දේශපාලනය පිළිබද නිවැරදි පැහැදිලි කිරීමකි.ඉතාම කෙටියෙන් ඔහු ජවිපෙ/ජාජබ දේශපාලනයේ හරය කැටිකරයි.

එනම් ජවිපෙ/ජාජබට අනුව ගෝඨාභය රාජපක්ෂව මහජන නැගිටීමකින් ධූරයෙන් ඉවත් කිරීම ‘දේශපාලනික’ නැත.රනිල් වික්‍රමසිංහ වැනි කෙනෙකු රටේ ජනාධිපති වීම එම ‘දේශපාලනික නැති’ තීරණයේ ප්‍රතිඵලයකි.

සිරස නිවේදකයා ඉන් පසුව සුනිල් වටගලගෙන් අසන්නේ මාර්තු 9 යෝජිත වූ මැතිවරණය කැදවා ගැනීමට හා ජවිපෙ/ජාජබ සහෝදරයකු ටවුන් හෝල් උද්ඝෝෂණ පෙලපාලියේ දී පොලිස් ප්‍රහාරයකින් මියයාමට එරෙහිව දැනෙන මහජන උද්ඝෝෂණයක් (නොහොත් ජනතාව පාරට කැදවීමක්) නොකළේ මන්ද යන්නයි.

ඊට පිළිතුරු ලෙස වටගල කියන්නේ ‘මැතිවරණය කැදවා ගැනීමට අපි මුකුත් නොකරනවා යැයි ඔයා කියන්නේ කොහොමද ?’ යන්නයි.නිවේදකයාගේ නැවත ප්‍රතිචාරය වන්නේ ‘එහෙම මුකුත් කරන බවක්’ නොපෙනෙන බවයි. ඊට වටගලගේ උත්තරය වන්නේ ‘අපි ජාත්‍යන්තර සංවිධාන දැනුවත් කරමින් ඇති බවත්,විරෝධයන් පාරෙම කරන්න ඕනෙ කියල එකක් නැහැනෙ’ වැන්නකි.

සුනිල් වටගලගේ ප්‍රකාශනයෙන් පැහැදිළි කෙරෙන පරිදි ජවිපෙ/ජාජබ දේශපාලනය යනු ව්‍යවස්ථාපිත ආණ්ඩුක්‍රමය සමග සම්මුතිගත වී කළ යුත්තකි.ඒ අනුව පාලකයකු හෝ ආණ්ඩුවක් වෙනස් කිරීමට ඇති පිළිගත් ක්‍රමය මැතිවරණයයි. ‘දේශපාලන වෙනසක්’ කළ යුත්තේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට අනුකූලවය.දැනට පවතින නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයෙන් විකල්පව මහජන බලය සංවිධානය කෙරෙන මූලෝපායික මැදිහත්වීම් ‘තේරුමක් නැති’ වැඩකි.එවැනි විකල්ප මහජන ව්‍යුහයන් (මහජන කවුන්සිල් හා ජන අරගල සභා වැනි) වැඩකිරීමට නම් ‘සන්නද්ධ බලය’ අවශ්‍ය වන බවට ඔස්ට්‍රේලියාවේදී අනුර කුමාර කළ ප්‍රකාශයේ ඇත්තේද යටකී තේරුමයි.රටේ බහුතර ජනතාවක් සම්ප්‍රදායිකව දේශපාලනය ලෙස හදුනාගෙන තිබුණේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ මැතිවරණ ක්‍රමය හරහා ආණ්ඩු පත් කිරීම හෝ ඉවත් කිරීමයි. ජවිපෙ/ජාජබ ලෙස තමන්ගේ සාර්ථකත්වය ඇත්තේ එම තෝරාගැනීම තුළ පමණී.

ඒ අනුව ගෝඨාභය වැනි පාලකයකු ඉවත් කිරීමට ප්‍රජාව ස්වතන්ත්‍රව ඉදිරියට ඒම අදේශපාලනික මැදිහත්වීමකි.ඔහුව ඉවත් කිරීමට තිබුණේ ඊළග ජනාධිපතිවරණයෙන් හෝ ව්‍යවස්ථාගත ක්‍රමයක් තුළිනි.වත්මන් රනිල් රාජපක්ෂ ආණ්ඩුව ඉවත් කළ හැක්කේද ඉදිරි මැතිවරණයකිනි.පිළිගත් ව්‍යවස්ථාව අනුව ඉදිරි කාලයේ දිනක රනිල්ගේ ආණ්ඩුව විසින් ජනාධිපතිවරණයක් හෝ වෙනත් මැතිවරණයක් කෝල් කරන්න නියමිතය. එතෙක් මැතිවරණ ඉල්ලා ජනතාව පාරට ගැනීම මෑත ‘ජන අරගලය’ වැනිම අතාර්කික වැඩකි.

මේ අනුව ජවිපෙ/ජාජබ සිය දේශපාලනය ක්‍රමවත්ව පැහැදිළි කර ඇත.නවීන දේශපාලන න්‍යායන් තුළ දේශපාලනය (Politics) හා දේශපාලනිකය (Political) යනුවෙන් තීරණාත්මක දෙබෙදුමක් ඇත.පළමුවැන්න යනු සංස්ථාපිත රාමුව තුළ වන දේශපාලනයයි. ‘දේශපාලනිකය’ යනු මෙම දේශපාලන සංස්ථාපිතයන්ගේ නිශේධනය නොහොත් නිසර්ග ව්‍යුහාත්මක සීමාව මුණගැසීමයි.එහිදී පවතින සංස්ථාපිත දේශපාලනයෙන් පිටත පවතින අහඹුවේ හා අතීරණයේ නිමේෂය වෙත දේශපාලන භාවිතය යොමුවේ.’සිස්ටම් චේන්ජ්’ යන්නෙහි ගැඹුරුම තේරුම වන්නේ මෙයයි.පවතින ක්‍රමය සැබවින්ම වෙනස් කිරීමට නම් එම ක්‍රමය විසින් බැහැර කර ඇති ‘දෙය’ සමග අනන්‍ය විය යුතුය.ඒ අනුව දේශපාලනිකය (political) යනු දේශපාලනයද (politics) අයත්ව ඇති පවතින පද්ධතිය විසින් යටපත් කර ඇති නිර්මාණශීලීත්වයේ දේශපාලන නිමේෂයයි.එම මර්දිතයම දේශපාලනය ලෙස බාරගැනීමයි.

ඉහත කියවීම අනුව ‘දේශපාලනික ක්‍රියාව’ වන්නේ වටගල තම නොතේරුමට ‘දේශපාලනික නැතැයි’ අවතක්සේරු කරන ජනතා නැගිටීම හා ගෝඨාභය එලවීමයි. ‘දේශපාලනික නැත්තේ’ පවතින නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය හරහා ආණ්ඩු බලය ගැනීමට සිතන පිළිගත් සම්මුතිගත ක්‍රමය හා එය නොවේනම් ඇත්තේ සන්නද්ධ ක්‍රියාමාර්ගය පමණක් ය යන සීමිත සිතීමයි.

අනුර කුමාරගේ නායකත්වයෙන් යුත් ජවිපෙත් ජාජබ ලෙස එක් වී සිටින පිරිසත් දෙස බලන විට ඔවුන් තෝරාගෙන ඇති දේශපාලන ක්‍රමය යනු නීති රීතියට අනුකූලව අනවශ්‍ය ආතතියක් කරදරයක් ඇගේ දාගන්නේ නැතිව කරන දේශපාලනයකි. තමන් කරමින් සිටින දේශපාලනය (එනම් ජන අරගල හා රැඩිකල් වාමාංශයෙන් තමන් පැහැදිලිවම වෙනස් වන ආකාරය ) ගැන හොද වැටහීමක් තිබීමත්,එය විවෘතවම සමාජයට ප්‍රකාශ කිරීමත් සම්බන්දයෙන් ජවිපෙ/ජාජබට අප ස්තූතිවන්ත විය යුතුය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?