Latestදේශීය

පාම්තෙල් පොල්තෙල් කිරීමේ ජාවාරම ජයටම

පොල්තෙල් වලට පාම්තෙල් කවලම් කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙහි දැක්වේ.

වෙළදපොලේ ඇති පොල්‌තෙල් මිල වැඩි කරගෙන පොල්තෙල්වලට පාම්තෙල් කවලම් කර විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක කිරීමට සුදානමක් ඇති බව අප විසින් හෙළිදරව් කරන ලද්දේ පසුගිය ජුනි මාසයේය.එම හෙළිදරව්ව සිදුකොට මසක් ගතවන්නටත් පෙර මුදල් අමාත්‍යංශය විසින් ආනයනික පොල් තෙල් සදහා කිලෝවකට රුපියල් 25.00 ක බද්දක් පැනවීමට කටයුතු කර ඇත. එම බද්ද නිසා වෙළදපොලේ පොල් තෙල් මිල ඉහළ යන අතර ඒ සමගම පොල්තෙල්වලට පාම්තෙල් කවලම් කර අලෙවි කරනු ලබන කූට ව්‍යාපාරිකයින්ගේ මල්ල තරවනු ඇත. එපමණක් ද නොවේ පොල් ආශ්‍රිත නිෂ්පාදන වලින් ලැබෙන අපනයන ආදායමද අඩුවනු ඇත.

2019 වර්ෂයේ පොල් සංවර්ධන අධිකාරියේ සංඛ්‍යා ලේඛණ වලට අනුව වාර්ශික පොල් අවශ්‍යතාවය ගෙඩි බිලියන 4.9 කි. ගෘහස්ත පරිභෝජනයට අවශ්‍ය පොල් ගෙඩි සංඛ්‍යාව ගෙඩි බිලියන 1.8 ක් වන අතර මෙරට පොල් තෙල් නිෂ්පාදනය කිරීම සදහා අවශ්‍ය පොල් ගෙඩි සංඛ්‍යාව ගෙඩි බිලියන 1.8 කි. අපනයනය ආශ්‍රිත නිෂ්පාදනය සදහා අවශ්‍ය පොල් ගෙඩි සංඛ්‍යාව ගෙඩි බිලියන 1.3 කි. නමුත් වාර්ෂික පොල් අස්වැන්න වන්නේ ගෙඩි බිලියන 3.1 කි. මෙම සංඛ්‍යා ලේඛළ අනුව වාර්ශික පොල් හිගය ගෙඩි බිලියන 1.8 කි.

මෙම හිගය පියවා ගැනීම සදහා විවිධ ක්‍රමභාවිතා කරන ලදී. ඉන් එක් ක්‍රමවේදයක් වන්නේ මෙරටට පොල් තෙල් ආනයනය කිරීමය. 2019 දී මෙරටට ආහාරයට ගත හැකි පොල් තෙල් මෙට්රික් ටොන් 140000- 160000 අතර ප්‍රමාණයක් ආනයනය කර ඇත. එම ප්‍රමාණය ලංකාවේ නිෂ්පාදනය කළේ නම් ඒ සදහා වැයවන පොල්ගෙඩි ප්‍රමාණය ගෙඩි බිලියන 1.4- 1.6 ට සමාන වේ. පොල් තෙල් මිල ආනයනික බදු ඉහළ දැමීම නිසා පොල් ආනයනය කිරීම නවතා දැමුවොත් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ගේ පොල් තෙල් අවශ්‍යතාවය පිරිමසා ගැනීම සදහා පොල් ගෙඩි බිලියන 1.4 – 1.6 ප්‍රමාණයක් වැය කිරීමට සිදුවේ. එසේ පොල් ලබා ගැනීම නිසා අපනයනය ආශ්‍රිත නිෂ්පාදන අඩුවේ නිසා වාර්ශිකව අඩුවන අපනයන ආදායම ඩොලර් මිලියන 700 කි.

පොල්තෙල් සදහා පනවා ඇති තීරු බදු ප්‍රමාණය වැඩි වී පාම් ඔයිල් සදහා පනවා ඇති තීරුබදු ප්‍රමාණය අඩුවු සෑම අවස්ථාවකම කූට ව්‍යාපාරිකයින් විසින් පොල් තෙල් සදහා පාම් තෙල් කවලම් කොට විකිණීමේ ජාවාරම ක්‍රියාත්මක විය.පසුගිය වසර විසිපහක් පුරා එම ජාවාරම ක්‍රියාත්මක වූ අතර එම ජාවාරම නැවැත්වීම සදහා රජය විසින් පාම්තෙල් සදහා වන තීරු බදු ප්‍රමාණය වැඩි කල අතර පොල් තෙල් සදහා පැනවන තීරුබදු ප්‍රමාණය පාම්තෙල් සදහා පනවන තීරු බදු ප්‍රමාණයට වඩා අඩු අගයකින් යුක්තව පවත්වා ගෙන යාමට කටුයුතු කරන ලදී. ඒ නිසාම පොල් තෙල්වලට පාම් තෙල් කවලම් කරන ජාවාරම නැවතුනි.

මෙම ජාවාරම්කරුවන් විටින් විට විවිධ ස්වරූපයෙන් පැමිණ පොල්තෙල් වලට පනවා ඇති තීරුබදු ප්‍රමාණයට වඩා අඩු අගයක් පාම්තෙල් සදහා පනවා ගැනීම සදහා උත්සහයක නිරිත වේ. මෙම අවස්ථාවේදී පොල් තෙල් සදහා පනවා ඇති තීරුබදු ප්‍රමාණය රුපියල් 25 කින් වැඩි කරන ලද්දේ එම උත්සහයේ ප්‍රතිඵලයක් වශයෙනි.

රජයක් බදු පැනවීමේදී සෑම අංශයක් පිළිබදවම සොයා බැලිය යුතුය. එක් අන්තයක් පිළිබදවම බලා තීරණ ගැනීම නිසා රටේ ආර්ථිකයට මෙන්ම රටේ ජනතාවගේ සෞඛ්‍යයට දැඩි තර්ජනයක් එල්ල වේ. එසේම අපනයන ආදායමද පහත වැටේ.

එම නිසා අප සංවිධානය වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටින් පොල් තෙල් සදහා රුපියල් 25 කින් පැනවූ තීරු බද්ද පිළිබදව නැවතත් සළකා බලන ලෙසයි. නැතහොත් පාම් තෙල් සදහා වන තීරු බද්දද රුපියල් 25 කින් වැඩි කරන ලෙසයි.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?