Latestදේශීය

කිසිම ආකාරයක අළුත් ණය ගැනීමක් සිදු කරන්නේ නැහැ – මුදල් අමාත්‍යංශය

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමට අදාළ වැඩසටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා රුපියල් බිලියන 4,979 වූ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාව අනුමැතිය ලබාදුන් බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එම කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පවසන ලදී.

එහිදී වැඩබලන සභාපතිවරයා පාර්ලිමේන්තුවට විශේෂයෙන් අවධාරණය කර සිටියේ මුදල් අමාත්‍යංශය විසින් රුපියල් බිලියන 9,000 නැවත ණය නිකුත් කිරීම සඳහා වූ ණය සීමාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පමණක් යොදාගනු ලබන බවත් නැවත කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් සිදු නොකරන බවටත් මුදල් අමාත්‍යංශය ලබාදුන් පොරොන්දුව මත අදාළ අනුමැතිය ලබාදුන් බවයි.

මෙහිදී පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්…

“2022 අංක 43 දරණ විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතෙහි අදාළ සංශෝධනය 2023.08.08 වෙනි දින පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ අවධානයට යොමු විය. ඒ අනුව 2022 අංක 43 දරණ විසර්ජන පනතේ දෙවැනි වගන්තියේ පළවෙනි උප වගන්තියේ ආ ඡේදයේ රුපියල් බිලියන 4,979 වූ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීම මගින් රුපියල් බිලියන 9,000 නැවත ණය නිකුත් කිරීම සඳහා ණය සීමාව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය හා පනතේ දෙක, හතර උප වගන්තිය හා දෙවන උප ලේඛනය සංශෝධනය කිරීම මගින් ණය ආපසු ගෙවීම සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීමක් ලෙස රුපියල් බිලියන 4,222.23 සිට රුපියල් බිලියන 13,202.23 දක්වා වූ වියදම් සීමාව වැඩි කිරීම සිදුවේ. සංශෝධන බලපෑම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමට අදාළ වැඩසටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් සිදුකරන තාක්ෂණික ක්‍රියාවලියක් වන නිසා නාමික වශයෙන් පමණක් මෙම ණය ගැනීමේ සීමාව සහ ණය ආපසු ගෙවීමේ ප්‍රතිපාදන වැඩිවේ.

සමාජයේ මතයක් ඇති වුණා බිලියන 9,000 පමණ අතිරේක ණය ගැනීමක් යෝජනා කරලා තියෙනවයි කියලා. ඒ පිළිබඳ අපි මුදල් අමාත්‍යංශයෙන් විමසීමක් කළා. මුදල් අමාත්‍යංශය පොරොන්දු වුණා කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් සිදුකරන්නේ නෑ කියලා. එමගින් සිදුවන්නේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ඒ වගේම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී බිල්පත් බැදුම්කර වීම නිසාත් ඒ වගේම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය සඳහා පමණක්(ගණකාධිකරණ ක්‍රියාවලියක් සඳහා පමණක්) මෙය සිදුකරන බවයි. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මුදල් අමාත්‍යංශයෙන් ඒ පොරොන්දුව ඉටු කරයි කියලා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ විශ්‍රාම අරමුදල තෝරා ගන්නා ලද අංශ කිහිපයක පමණක් අඩංගු 2032 දක්වා කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් බිලියන 6,000 ද, විදේශීය ණයට අදාළ භාණ්ඩාගාර, බැඳුම්කර රුපියල් බිලියන 3,000 වටිනාකමකින් යුත් ණය ප්‍රමාණය එකතු වූ රුපියල් 9,000 ණය ප්‍රමාණය දිගුකාලීනව ආපසු කියවෙන ණය බවට පත් කිරීමේ ක්‍රියාවලියට යටත් වීම පමණක් මෙහිදී සිදුවන නිසා, රාජ්‍ය වැය ශීර්ෂයන්හි සිදුවන නාමික වෙනස්කමක් පමණක් මෙහිදී සිදුවේ. 2032 පසු සිදුවෙන ණය ගනුදෙනු පිළිබඳව මෙමගින් ප්‍රකාශ නොකරන බවද මෙහිදී දැනුම් දීමට කැමති.”

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?