Latestදේශීය

ප්‍රේමලාල් වෙනුවෙන් නීතියට අභියෝග කළ පොලිස් ලොක්කා වසර 05ක් සිරගෙට

සබරගමුව පළාත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න විසින් වසර 05ක සිර දඬුවම් නියම කර තිබේ.

ඒ, 2015 ජනාධිපතිවරණයේදී එවකට අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ වේදිකාව සරසමින් සිටි ආධාරකරුවන් පිරිසකට ජනවාරි 05 වනදා වෙඩි තබා එක් අයෙක් ඝාතනය කර තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළව එවකට නියෝජ්‍ය ඇමති ලෙස සිටි ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කිරීමේ චෝදනාවට අදාළවය.

විනිසුරුවරිය මෙම දඬුවම ලබා දෙමින් රුපියල් 20,000ක දඩයක් නියම කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ කහවත්ත පොලිසිය විසින් සිද්ධියේ සැකකරුවෙකු ලෙස හඳුනා ගත් එවකට නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස සිටි ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගැනීමට සූදානම් වනවිට ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙසට එවකට කහවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ලලිත් රාජමන්ත්‍රීට බලපෑම් කිරීම සම්බන්ධයෙන් සබරගමුව පළාත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට එරෙහිව මෙසේ චෝදනා ගොනුකර තිබිණි.

අදාළ වෙඩි තැබීමේ ප්‍රධාන චූදිතයා වූ ප්‍රේමලාල් ජයසේකර මේ වනවිට වත්මන් රනිල් පොහොට්ටු ආණ්ඩුවේ වරාය හා ගුවන් සේවා රාජ්‍ය ඇමති ලෙස කටයුතු කරමින් සිටී.

උක්ත සිරදඬුවම් ලැබූ සබරගමුව පළාත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති ලලිත් ජයසිංහ උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසද කටයුතු කර ඇති අතර 2015 වසරේ මැයි මස 13 වන දින යාපනයේ 18 හැවිරිදි වියේ පසු වූ සඳහා ආධාර අනුබල ලබා දීම මත 2017 ජුලි මස 15 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර එලෙස සැකකරුවන්ට පල යාමට ආධාර අනුබල ලබා දීම මත පොලිස් කොමිසම විසින් ඔහුව වැඩ තහනමකට ලක් කරන ලදී.

පසුව ඔහු ඇප මත මුදාහැරීමට යාපනය කයිට්ස් මහේස්ත්‍රාත් ඒ.එම්.එම්. රියාල් කටයුතු කර තිබූ අතර පසුව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට පනවා තිබූ ඇප කොන්දේසිද 2018 පෙබරවාරි 28 සිට ලිහිල් කිරීමට නියෝග කර තිබිණි.

ඒ අනුව තමාව නැවතත් සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා ලලිත් ජයසිංහ විසින් දේශපාලන පලි ගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවට පැමිණිල්ලක් ඉදිරිපත් තිබිණි. ඒ අනුව එකල වැඩ බලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ඊට අදාලව එම ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශයක්ද ලබා දී තිබිණි. කෙසේ වෙතත් වැඩ තහනමට ලක්ව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ නැවතත් සේවයේ නොපිහිටුවීමට තීරණය කර ඇති බව ජාතික පොලිස් කොමිසම නිවේදනයක් කරමින් අවධාරණය කර තිබිණි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?