Latestදේශීය

ඉන්දියාව හොඳයි – දිනේෂ් ගුණවර්ධන

ඉන්දියාව ආර්ථික බලවතෙකු ලෙස ඉදිරියට යන අතරම ලොව පුරා සංවර්ධන සහ මානුෂීය ඉලක්ක ප්‍රවර්ධනය කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඉන්දීය ශ්‍රී ලංකා සංගමය විසින් කොළඹදී සංවිධානය කරන ලද 77 වැනි නිදහස් සංවත්සර උළෙලට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ආසියාවේ ශතවර්ශය වන මෙම යුගය තුළ ඉන්දියාව ආර්ථික සංවර්ධනයට සමවී ඇති බවයි.

නිදහස් දිනය ඉතිහාසය සමඟ නැවත සම්බන්ධ වීමට අවස්ථාවක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා මේ වසරේ අගෝස්තු 15 වැනි දින ප්‍රකාශ කළ බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා එය අපගේ වර්තමානය තක්සේරු කිරීමට සහ ඉදිරි ගමන ගැන සැලසුම් කිරීමට අවස්ථාවක් බව පැවසීය. වර්තමානය දෙස බලන විට පෙනී යන්නේ ඉන්දියාව ලෝක තලයේ නිසි තැන නැවත ලබාගෙන ඇතිවා පමණක් නොව ජාත්‍යන්තර වැඩපිළිවෙළ තුළ සිය ස්ථාවරයද ඉහළ නංවාගෙන ඇති බවයි. ලොව පුරා සංවර්ධන සහ මානුෂීය ඉලක්ක ප්‍රවර්ධනය කිරීමේදී ඉන්දියාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ගෞරවනීය ආරාධිත අමුත්තා වූ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර ගැඹුරට මුල් බැසගත්, සියවස් ගණනාවක් පැරණි බැඳීම්වල විවිධාංග පිළිබඳව අවධාරණය කළේය. ඉන්දීය ශ්‍රී ලංකා සංගමය වැනි සංවිධාන විසින් දෙරටෙහි ජනතාව අතර ඇති බැඳීම් ශක්තිමත් කිරීම සඳහා ගෙන ඇති මුලපිරීම් ද ඔහුගේ ඇගයීමට ලක් විය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එකම පෞරාණික සංස්කෘතියක දරුවන් වන අතර දෙරටටම පොදු සංස්කෘතික සබඳතාවක් පවතින බැවින් ශ්‍රී ලංකාවට ඉන්දියාවේ උපකාර අවශ්‍ය සෑම අවස්ථාවකදීම ඉන්දියාව සැමවිටම උපකාර කරන බව ඉන්දීය මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.

SLIS හි සභාපති කිෂෝර් රෙඩ්ඩි මහතා අවධාරණය කළේ මිනිසුන් අතර සබඳතා සහ සංස්කෘතික සබඳතා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවයේ ප්‍රධාන කුළුණු වලින් එකක් බවයි. මෙම ඉදිරි ගමන, සිතුවිලි සහ අදහස් එක් වීමකට තුඩු දෙන අතර දැනුම බෙදාහදා ගැනීම, විවිධත්වය සහ පොදු සමෘද්ධිය පෝෂණය කරන බව ඔහු පෙන්වා දුන්නේය.

සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රේණුකා ඒකනායක මහත්මිය විසින් ප්‍රධාන දේශනය පැවැත්වූ මෙම උත්සවය සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අමාත්‍ය මනූෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන නැගෙනහිර ආණුඩුකාර සෙන්දිල් තොණ්ඩමන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?