Latestදේශීය

ගංවතුර අනතුරු ඇඟවීම් අඛන්ඩව නිකුත් කෙරේ

නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහාත් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා ද නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කර ඇත.

මේ හේතුවෙන් ජනතාවට දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසද දැනුම්දෙයි.

මේ අතර රත්නපුර ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා ගලන හංගමු ගඟ පිටාර ගැලීමෙන් බස්රථ ධාවනය වන ප්‍රධාන මාර්ග දෙකක්, අතුරු මාර්ග, නිවාස සහ පතල් විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති බව අප වාර්තාකරු පැවසීය.

ඇලපාත, කරන්ගොඩ, ගිනිහිරිය, දිමියාව, දම්ඹුලුවන, කහවත්ත හරහා ගලතුර ප්‍රධාන මාර්ගය
කරංගොඩ ප්‍රදේශයෙන් කිලෝමීටර්යක් පමණ ජලයෙන් යටවීම නිසා බස් ධාවනය ඇතුළු සියලුම රථවාහන ගමනාගමනය ඇණහිට තිබේ. 

රත්නපුර හංගමුව හරහා කරවිට ප්‍රධාන මාර්ගයද රත්නපුර හංගමුව හරහා බට ඇඳිරිය මාර්ගය ද ජලයෙන් යටවීම නිසා බස් රථ ධාවනය ඇතුළු සියලු වාහන ගමනාගමනය ඇණහිට ඇති බව අප වාර්තාකරු තවදුරටත් සඳහන් කරයි. 

අද උදෑසන වනවිට කළු ගඟේ ජල මට්ටම අඩුවීමක් පෙන්නුම් කරත් රත්නපුර, නිරල්ගම ප්‍රධාන බස්රථ මාර්ගය ඇත්ඔය ප්‍රදේශයෙන් තවමත් ජලයෙන් 
යටවී තිබීම නිසා බස්රථ ධාවනය සිදු නොවන අතර අතුරු මාර්ග, පහත් බිම් තවමත් ජලයෙන් යටවී පවතින අතර ක්‍රමයෙන් ගංවතුර බැස යමින් පවතින බවද අප වාර්තාකරු සඳහන් කරයි.

ගිං ගඟ පිටාර ගැලීම මේ වනවිට ගංවතුර තත්ත්වයක් බවට පත්වී ඇති බව අප වාර්තාකරු පැවසීය.

අද උදෑසන වනවිට බද්දේගම ජල මාපකයේ අගය 4.57ක් ලෙස සටහන්ව තිබුණි. 

ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් බද්දේගම උඩුගම මාර්ගය, නාගොඩ කුරුපනාව මාර්ගය, බද්දේගම දොඩම්ගොඩ මාර්ගය, අගලිය මාර්ගය ජලයෙන් යටවී ඇති අතර බද්දේගම, අගලිය, නාගොඩ, උනන්විටිය, තවලම, හිනිදුම ආදී ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යටවී ඇත.

නොකඩවා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන්  බණ්ඩාරගම අටුලුගම කිම්මන්තුඩාව මාර්ගය,  කොලමැදිරිය කිම්මන්තුඩාව මාර්ගය ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට දැඩි බාධා සිදුවී ඇති බවද අප වාර්තාකරුවන් පවසයි.

මේ හේතුවෙන් එම මාර්ගවල ගමන් ගන්නා ජනතාවට විකල්ප මාර්ග භාවිතා කිරීමට සිදුවී ඇති බවද වාර්තා වෙයි.

කිරම ඔය පිටාර ගැලීමෙන් තංගල්ල පළතුඩුව මාර්ගය මුළුමනින්ම ජලයෙන් යටවී ඇත. තවද හක්මන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දේවාලේගම ප්‍රදේශයේ නිවසක් ආසන්නයට පස් කන්දක් කඩා වැටී ඇති අතර ඉන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැත.

@adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?