Latestවිදේශීය

ඊශ්‍රායෙල් – හමාස් ගැටුම් උග්‍ර අතට

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම්වලින් දෙපාර්ශ්වයේම සිදුවූ මරණ ගණන 1,600 ඉක්මවා ගොස් තිබේ.

මේ අතර හමාස් සංවිධානය අවධාරණය කර ඇත්තේ, අනතුරු ඇඟවීමෙන් තොරව ගාසා තීරයට එල්ල කරන සෑම ගුවන් ප්‍රහාරයකටම එක් ප්‍රාණ ඇපකරුවෙකු බැගින් මරා දමන බවටය.

හමාස් සටන්කරුවන් ඊශ්‍රායල භූමියට ඇතුළු වී ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ආරම්භ වූ ඊශ්‍රායල – හමාස් යුද ගැටුම අද වනවිට සිව්වැනි දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායලය තුළ පමණක් පුද්ගලයින් 900කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

ඒ අතරට ඊශ්‍රායල වැසියන් මෙන්ම එහි රැඳී සිටි විදේශිකයින් ද අයත්ය.

මෙම පිරිසට අමතරව තවත් සියය ඉක්මවූ පිරිසක් තවදුරටත් හමාස් ප්‍රාණ ඇපයේ පසුවන අතර ඔවුන් පිළිබඳ නිශ්චිත කිසිදු තොරතුරක් තවමත් වාර්තා වී නැත.

හමාස් ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය ගාසා තීරය වෙත අඛණ්ඩ ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරමින් පවතී.

එරට ගුවන් හමුදාව නිකුත් කළ එම ප්‍රහාර දැක්වෙන වීඩියෝවක් ද විදෙස් මාධ්‍ය නිකුත් කර තිබේ.

ගාසා තීරය ඉලක්ක කළ ප්‍රහාර මාලාව හේතුවෙන් එහි ගොඩනැගිලි සුන්බුන් බවට පත්ව තිබේ.

ගාසා හි පිහිටි සරණාගත කඳවුරක් වෙතත් ගුවන් ප්‍රහාර එල්ල වූ බව ඊයේ වාර්තා වුණි.

එමෙන්ම එහිදී මියගිය පලස්තීන වැසියන් ගණන 700ට ආසන්න ය.

නොනැවතී එල්ල වන ප්‍රහාරවලින් සිවිල් වැසියන් වැඩි වශයෙන් මියයමින් පවතින බව ගාසා තීරයෙන් වාර්තා වේ.

එහිදී අවතැන් වූ පිරිස එක්ලක්ෂ අනූ දහසට ආසන්න ය.

එමෙන්ම මෙලෙස අඛණ්ඩව ප්‍රහාර එල්ල වුවහොත් එහි රෝහල් පද්ධතියට දරාගැනීමට නොහැකි වනු ඇති බව එහි වෛද්‍යවරුන් පවසයි.

මෙවන් පසුබිමක ගාසා තීරය වෙත ජලය, ආහාර, විදුලිය සහ ඉන්ධන සැපයීම සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට ඊශ්‍රායල කටයුතු කළේය.

ඊශ්‍රායල ආරක්ෂක ඇමති, යෝඇව් ගැලන්ට් ප්‍රකාශ කළේ,

“ගාසා තීරය සම්පූර්ණයෙන්ම අවහිර කරනවා. විදුලිය නැහැ. ආහාර නැහැ. ඉන්ධන නැහැ. ජලය නැහැ. හැමදේම අවහිර කරනවා. අපි සටන් කරන්නේ මිනිස් වෙසින් ඉන්න සත්තු එක්ක.”

මේ අතර ඊශ්‍රායල භූමිය ඉලක්ක කරගත් හමාස් ප්‍රහාරයට දරුණු ප්‍රතිචාර දක්වන බව නැවතත් අවධාරණය කළ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු පවසන්නේ ප්‍රතිප්‍රහාර ආරම්භ වූවා පමණක් බවය.

කෙසේ නමුත්, ගාසා සිවිල් ඉලක්ක වෙත එල්ල වන ප්‍රහාර නැවැත්වීමට කටයුතු නොකළහොත් ප්‍රාණ ඇපකරුවන් මරා දමන බවට හමාස් සංවිධානය අනතුරු අඟවා තිබේ.

අනතුරු ඇඟවීමකින් තොරව එල්ල කරන එක් ඊශ්‍රායල ප්‍රහාරයකට එක් ප්‍රාණ ඇපකරුවෙකු ලෙස මරා දමන බවද මෙහිදී ඔවුන් පවසා තිබුණි.

මේ අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් හමාස් ප්‍රහාරය තරයේ හෙළා දැක තිබේ.

කෙසේ නමුත් ගාසා තීරයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය යැවීම අවහිර කිරීමට ඊශ්‍රායලය ගත් තීන්දුව පිළිබඳ ඔහු සිය කනස්සල්ල පළ කළේය.

මේ හේතුවෙන් එහි පවතින මානුෂීය අර්බුදය තීව්‍ර වනු ඇති බව ඔහු පෙන්වා දෙයි.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?