Latestදේශීය

දකුණේ පාසැල් හෙට සිට පැවැත්වේ

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු රජයේ පාසල් හෙට (11) සිට යළි අධ්‍යයන කටයුතු සඳහා විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

කෙසේ වෙතත් ගංවතුර හේතුවෙන් හානියට පත් පාසල්වල තත්ත්වය පරීක්ෂා කර බලා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම විදුහල්පතිවරුන්ට පැවරෙන බව ඔහු සඳහන් කළේය.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් ඊයේ (09) සහ අද (10) දිනයේ වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගත්තේය.

ඒ අනුව මේ වන විට එම ප්‍රදේශවලට යහපත් කාලගුණික තත්ත්වයක් පවතින බැවින් පාසල් යළි විවෘත කිරීමට තීරණය කළ බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා “අද දෙරණ” සමග සඳහන් කළේය.

එහෙත් ඇතැම් පාසල් මේ වන විට ආරක්ෂිත කඳවුරු ලෙස යොදාගෙන ඇති අතර තවත් පාසල් කිහිපයක ගොඩනැගිලි පැවති ආපදා තත්ත්වය හේතුවෙන් විනාශයට පත්ව ඇති බව සඳහන්ය.

එමෙන්ම වර්ෂාපතනය පහව යාමක් පෙන්නුම් කලද ඇතැම් පාසල්වල පන්ති කාමර තුළ ජලය රදාපවතින බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේය.

ඒ අනුව පවතින සියලු තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් පාසල් පවත්වාගෙන යාමේ වගකීම විදුහල්පතිවරුන් වෙත පැවෙරන බවද පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පැවසුවේය.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?