Latestදේශීය

ගාසා ඝාතනවලට එක විදියකටයි අපිට තව විදියකටයි සලකන්න එන්න එපා – රනිල් වික්‍රමසිංහ

ගාසා තීරයේ මතුවී තිබෙන ගැටළුව සම්බන්ධව එක් ආකාරයකට සලකමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව වෙනත් ආකාරයකට විනිශ්චය කිරීම සාධාරණ නොවන බවත්, ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයේදී පිරිසිදු දෑතින් පැමිණෙන ලෙස එක්සත් ජාතීන්ගෙන් සංවිධානයෙන් ඉල්ලා සිටින බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවිට ශ්‍රී ලංකාව ඊට පිළිතුරු ලබා දෙන බවද කියා සිටියේය.

එසේ සාධාරණත්වයක් නොමැති නම් ශ්‍රී ලංකාව විසින් ඊට පිළිතුරු සැපයිය යුතුදැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ වැලිමඩ අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය පිළිබඳ සඳහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේ සෑම රටක්ම මෙම තීරණාත්මක ප්‍රකාශය සමඟ අනුගත විය යුතු බවයි.

ඔක්‌තෝබර් 7 වැනිදා හමාස්‌ සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාරයක්‌ එල්ල කළ අවස්‌ථාවේ ශ්‍රී ලංකා රජය එම ක්‍රියාව කඩිනමින් හෙළා දුටු බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ත්‍රස්‌තවාදය හෙළා දකින අතරම පලස්‌තීන රාජ්‍යත්වය පිළිබඳ මූලධර්මයට ශ්‍රී ලංකාවේ සහයෝගය යළිත් තහවුරු කළ බවත් පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර ප්‍රජාව තුළ සිදු වූ මෙම හෙළා දැකීම, ජාත්‍යන්තර නීති සහ රීති රාමුව තුළ ඊශ්‍රායලයට පළිගැනීමේ අයිතියට ඉඩ සැලසූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත්, එවැනි මූලධර්ම විශ්වීය වශයෙන් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොතිබීම පිළිබඳව සිය කනස්සල්ල පළ කළ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවලට අනුව ගාසා තීරයේ මිනිසුන් 10,000 කට වැඩි පිරිසක් ඝාතනය කිරීම, යම් අයෙකු තමාගේ රට තුළ පවතින යුද්ධයේ සාධාරණත්වය සහ ජාත්‍යන්තර ප්‍රජාව විසින් ඊට දක්වනු ලබන ප්‍රතිචාර පිළිබඳ ප්‍රශ්න මතු කරන බව ද සඳහන් කළේය.

එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා සම්මත කර ඇති බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා එක හා සමාන ප්‍රශ්න පවතින ශ්‍රී ලංකාව සහ ගාසා තීරය සම්බන්ධයෙන් මෙම ජාතීන් අනුගමනය කරන ප්‍රවේශයේ වෙනසක් ඇත්තේ මන්දැයි ද ප්‍රශ්න කළේය. ඒ අනුව කලාප දෙකටම එකම නීති ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජාත්‍යන්තර නීතියට අනුව ත්‍රස්තවාදය මැඩලීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග මූලික නිදහස ආරක්ෂා කිරීම ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ රාජ්‍යයන්ගේ බැඳීම්වලට පූර්ණ ලෙස අනුකූල විය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. කෙසේ වුවත් මෙම මූලධර්ම ක්‍රියාවට නැංවීමේදී පවතින නොගැලපීම පිළිබඳව ද ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.

එමෙන්ම, ගාසා තීරයෙහි මතුවී තිබෙන ආර්ථික අර්බුදයේ මානව හිමිකම් බලපෑම ගැන කනස්සල්ල පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආහාර සුක්ෂිතභාවය නොමැතිවීම, ඉන්ධන හිඟය, අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිකම සහ ගෘහාශ්‍රිත ආදායම අඩු වීම ශ්‍රී ලංකාව පසුගිය වසරේ මුහුණ දුන් අත්දැකීමට වඩා දරුණු බව ද පැවසීය.

අවසන් වශයෙන් දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ පැමිණිලි හා ඉල්ලීම් වලට පිළිතුරු සැපයීමේ වැදගත්කම අවධාරණය කරමින්, සීමාකරණයට ලක්කිරීම සහ වෙනස්කොට සැලකීමට එරෙහිව සටන් කිරීමට පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටියේය.

බටහිර රටවල් විසින් ශ්‍රී ලංකාව සහ ගාසා තීරය වෙත යොදා ගන්නා විවිධ නිර්නායකයන්ගේ වෙනස පිළිබඳ ප්‍රශ්න කළ ජනාධිපතිවරයා ජාත්‍යන්තර කටයුතුවලදී ද පිරිසිදු දෑත් වලින් කටයුතු කිරීම විශ්වීය අවශ්‍යතාවයක් විය යුතු බවත් ප්‍රකාශ කළේය.

වැලිමඩ ජනතාවගේ අධිකරණ කටයුතු පහසු කිරීම සඳහා දිසා අධිකරණයක්, මහෙස්ත්‍රාත් අධිකරණයක්, කාර්යාල පහසුකම් ඇතුළු සියලු පොදු පහසුකම්වලින් සමන්විතව ඉදිකර ඇති මෙම තුන් මහල් අධිකරණ සංකීර්ණය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 460 කි.

මෙම අධිකරණ සංකීර්ණය ඉදිකිරීම මඟින් ඉතා අවම පහසුකම් යටතේ දිසා/මහේස්ත්‍රාත් සං‍යුක්ත අධිකරණයක් ලෙස පැවති වැලිමඩ අධිකරණය, දිසා හා මහේස්ත්‍රාත් අධිකරණ කටයුතු සඳහා විවෘත වනු ඇත.

සර්ව ආගමික වතාවත් මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කර අධිකරණ සංකිර්ණය විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

වැලිමඩ නිතිඥ සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ උපහාර තිළිණයක් ද මෙහිදී පිළිගැන්වීය.

@ ජනාධිපති මාධ්‍ය ඒකකය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?