Latestදේශීයනවතම ලිපිමතවාද

MR පසුකරන RW වෙන්දේසි සෙල්ලම

ලංකාවේ මෙතෙක් සිටි ප්‍රසිද්ධ වෙන්දේසි කරුවන් සහ දේපළ තක්සේරු කරුවන් වූයේ S&S (ශොක්මන් සහ සමරවික්‍රම), DK (ඩලස් කෙලාට්) වැනි සමාගම් ය. එහෙත් අද ඔවුන් අභිභවා RW (රනිල් වික්‍රමසිංහ) පෙරමුණ ගෙන ඇත. පෙර කිවූ සමාගම් මෙන් නොව RW වෙන්දේසි කරන්නේ රටේ මහජන දේපළයි.

රජයේ දේපළ විකුණා දැමීම සඳහා ඔහු මේ වනවිට වෙනමම ආයතනයක් පිහිටුවා ඇත. එය හඳුන්වන්නේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය (State Owned Enterprise Restructuring Unit) යනුවෙනි. එහි අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන්නේ ලංකා දුම්කොළ සංස්ථාවේ සභාපති සුරේෂ් කුමාර් ෂා නැමැත්තෙකි. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා වන්නේ සුනිල් හෙට්ටිආරච්චි, හිටපු අමාත්‍යාංශ ලේකම් වරයෙකි. https://www.treasury.gov.lk/web/sru/section/divestitures

මෙම ඒකකය විසින් රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය පිළිබඳ ප්‍රතිපත්ති රාමුවක් සකස් කොට ප්‍රසිද්ධ කලේ මෑතක ය. එය රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිපත්තිය (State Owned Enterprise Reform Policy) යනුවෙන් නම් කොට ඇත. එහි සඳහන් වන ආකාරයට රාජ්‍ය ව්‍යවසායන් 41 ක් පරිපාලන සමාගමක් (Holding Company) යටතට පත්කිරීමට ලැයිස්තු ගත කොට ඇත. ඒ ලැයිස්තුවේ ලිට්‍රෝ සමාගම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලංකා රෝහල, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම වැනි ආයතනද ඇතුළත් කොට තිබේ. RW වෙන්දේසි කරුවෝ මේවා හැකි ඉක්මනින් විකුණා දැමීම සඳහා මේ වන විටත් අභිප්‍රාය කැඳවීමේ නිවේදන නිකුත් කොට අදාළ ගණුදෙනු පිළිබඳ සාකච්ඡා ආරම්භ කොට ඇත.

මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය පාලනය කරන අදිසි හස්තයක් ඇත. කාර්ය මණ්ඩල ප්‍රධානියකු ලෙස කොල්ලුපිටිය ප්‍රදේශයේ එක්තරා ප්‍රසිද්ධ මන්දිරයක සිට ක්‍රියාත්මක වන එම හස්තය එකල රාජපක්ෂ සමයේ ඔවැනි ගණුදෙනු වලට ප්‍රසිද්ධව සිටි MR.10% අභිභවා MR 20% ලෙස ප්‍රසිද්ධව ඇත. ලබන වසර වන විට බිහිවීමට නියමිත ජනතාවාදී පාලනයක් තුල මෙම ගණුදෙනු සහ ඒවා පිටුපස සිටින පිරිස් වලට අමතරව කූඨ ලෙස විවිධ නම් වලින් මෙම රාජ්‍ය දේපළ මිල දී ගෙන තිබෙන ජාවාරම් කරුවන් පිළිබඳ විශේෂ විමර්ශන ආරම්භ කල යුතු ය.

මෙම ප්‍රතිව්‍යුහගතකරණ ප්‍රතිපත්තියේ දෙවන ලැයිස්තුව ඉතාමත් භයානක ප්‍රතිඵල ඇති කරනු ඇත. එහිදී ඔවුන් කරන්නේ රාජ්‍ය ආයතන 31 ක් 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි කොට පාලන සමාගමක් (Holding Company ) යටතට පත් කිරීම ය. එවිට , ඒවා පොදු සමාගම් බවට පත්වීම තුල කොටස් වෙළෙඳපොළේ ලැයිස්තු ගත කිරීම හරහා පහසුවෙන් විකුණා දැමි‍ය හැක. එම ලැයිස්තුවේ ඇති ලංකා බැංකුව , ජාතික ඉතිරිකිරීමේ බැංකුව , මහජන බැංකුව යන රජයේ ප්‍රධාන බැංකු තුන ලඟදිම ලංකාවේ දේශපාලනයට ඒමට බලාපොරොත්තු වන ජාවාරම් කරුවන් අතට පත්වනු ඇත. එසේත් නැතහොත් ඉන්දියානු ගැණුම් කරුවන්ට අයිති වනු ඇත . RW වෙන්දේසි කරුවෝ බලයට පැමිණි සෑම අවස්ථාවකම බැංකු විකිණීමට විවිධ උත්සාහයන් ගත් බව ඉතිහාසය දන්නා පිරිස් දනී. ඒ සෑම අවස්ථාවකම බැංකු වෘත්තීය සමිති සහ මහජනයාගේ බලපෑම හේතුවෙන් RW වෙන්දේසිකරුට අදහස හකුලා ගැනීමට සිදු වුවත් මෙවර ඔහුට එය පහසුවෙන්ම ඉටුකර ගැනීමට හැකි වනු ඇත . මෙම බැංකු විකිණීම තුල විය හැකි අවදානම මෙතෙක් කිසිවෙකුට දැනී තිබෙනවා ද කියා සැක සහිතය.

RW වෙන්දේසි කරුවෝ ඉහත ලැයිස්තුවේ නැති ඒවාද දැන් විකිණීමට කටයුතු කරන බවක් පේන්නට ඇත . පසුගිය දා ඔහු නුවරඑළියේ ඓතිහාසික තැපැල් කාර්යාල ගොඩනැගිල්ල විකිණීම සඳහා බලෙන් පවරා ගැනීමට කටයුතු කලේ ඒ අනුවයි. ඒ අයුරින්ම මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිලත් විකිණීමට අවශ්‍ය බව RW වෙන්දේසි කරු තැපැල්පතිට නියෝග කරනවා මාධ්‍යයේ දකින්නට ලැබුණි. කිසියම් “Buyer” කෙනෙකු විසින් සීගිරිය හෝ දළදා මාලිගාව සඳහා “Offer” එකක් දුනහොත් ඒවාද විකුණා දැමීමට මෙම වෙන්දේසි කරු කොහෙත්ම පසුබට නොවනු ඇත. ඔහුගේ පෙර රජයක සංචාරක ඇමැති ලෙස කටයුතු කල ගාමිණී ලොකුගේ වරක් සීගිරියේ යම් කොටස් විකිණීමට උත්සාහ කල අවස්ථාවේ ජනයා සහ විවිධ සංවිධාන විරෝධය පා එය නවතා ගත්තේ ය. ඉන්පසු ලොකුගේ රාජපක්ෂ කඳවුරට හේත්තු විය.

RW වෙන්දේසි කරුගේ පක්ෂය 2020 දී දේශපාලනයෙන් අතුගා දැමුනේ ඔහුගේ මෙම දුෂ්ඨ ප්‍රතිපත්ති නිසාමය. පොහොට්ටු පක්ෂයට 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ RW ට නැවත දේශපාලනයට ඒමට තිබු ඉඩ කඩ සියල්ල ඇහිරීමටය. එහෙත් දෛවයේ සරදම වන්නේ එදා ජනයා විසින් පන්නා දැමූ ඔහු අද ගෝඨාභය රාජපක්ෂගේ ජන වරම යොදා ගනිමින් පස්සා දොරින් බලය ලබා ගෙන එදා කරගැනීමට නොහැකි වූ සියල්ල කරමින් සිටී. RW වෙන්දේසි කරුවෝ පොහොට්ටු පක්ෂයට සහ රාජපක්ෂලාට ඔච්චම් කරමින් තම රටේ වටිනා දේපළ විකුණා දමන්නේ රටේ අනාගතය පිළිබඳ කිසිදු තැකීමක් නොකර ය. පොහොට්ටු පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ , ලේකම් සාගර කාරියවසම් නාමල් රාජපක්ෂ වැන්නන් මාධ්‍ය සාකච්ඡා වල එලියේ ජනයාට පෙන්වන්නේ ඔවුන් මේවාට විරුද්ධ බවකි. එය හුදෙක් රඟපෑම කි. ඔවුන්ට අවශ්‍ය 2025 වන තුරු පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් අවසානයේ කුමන හෝ දහම් ගැටයක් ගසා නැවත බලයට පැම්ණීමට ය. එය කොහෙත්ම මෙවර සිදු නොවීමට රටේ ජනයා වගබලා ගත යුතුය.

RW වෙන්දේසි කරුවෝ ආයතන 14ක් විණීමෙන් ඇස්තමේන්තු කොට ඇති ආදායම ඩොලර් බිලියන 4.5 කි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ඩොලර් බිලියන 2.9 ලබා ගැනීමට RW වෙන්දේසි කරු කරන්නාවූ විනාශය කොපමණද ඔබට තේරෙනවා ඇති . සියළු වත්කම් විකුණා ලබා ගත හැක්කේ ඩොලර් බිලියන 8-9 අතර ප්‍රමාණයක් බව තක්සේරු කොට ඇත. එහෙත් රජයේ සම්පූර්ණ ණය ඩොලර් බිලියන 96 ක් දක්වා ජුනි මාසය වන විට ඉහළ ගොස් තිබුණි. RW වෙන්දේසි කරු සහ දේපළ තක්සේරු කරුගේ මෙම උන්මාදය වහා නැවත් විය යුතුය. ඒ සඳහා රටේ ජනයා වහා පෙරට පැමිණීමට කාලය පැමිණ ඇත.

සියළු ජනයා පක්ෂ භේදයකින් තොරව මේ අවස්ථාවේ එක් වී මෙම වෙන්දේසි කරුවන් සහ ඔවුන් ආරක්ෂා කිරීමට කැප වී සිටින රාජපක්ෂලා දේශපාලන භූමියෙන් අතු ගා නොදා මෙම විනාශයෙන් රට බේරා ගත නොහැක. ප්‍රමාදය පසු තැවීමට හේතු වේ. ඉක්මන් තීරණ අවශ්‍ය යුගයක ඔබ ජීවත් වන බව අවබෝධ කරගන්න. අදූෂිත, රට පිළිබඳ තැකීමක්, ආදරයක් ඇති පිරිසක් හැකි විගස බලයට පත්කර ගැනීමට සූදානම් වෙමු. ඉන් තොර වෙනත් විකල්ප හෝ විසඳුමක් අපිට නොමැත.

ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?