Latestක්‍රීඩාදේශීය

නව ක්‍රීඩා පනත ජනපතිට

පවතින ක්‍රීඩා පනත වෙනුවට නව ක්‍රීඩා පනතක් හඳුන්වා දීමට අදාළව පත් කළ විශේෂඥ අධ්‍යයන කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජගත් ප්‍රනාන්දු මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී තිබෙන බව වාර්තා වේ.

මෙම වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ ආශ්‍රයෙන් විධිමත් කෙටුම්පතක් සම්පාදනය කර නව ක්‍රීඩා පනතක් සම්මත කර ගැනීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාවේ වර්තමාන නීතිමය රාමුව සහ ක්‍රීඩා පරිපාලනයේ පවතින ව්‍යුහය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා වෙත භාර දී ඇති මෙම විශේෂඥ අධ්‍යයන කමිටු වාර්තාවේ මූලික නිර්දේශයක් වනුයේ, පවතින නීතිමය රාමුව සහ පරිපාලන ව්‍යුහය පුළුල් ලෙස වෙනස් කිරීම සඳහා ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරියක් (National Sports Development Authority – NSDA) ස්ථාපිත කළ යුතු බවයි.

එමෙන්ම අදාළ අධිකාරියට ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සංගම් නියාමනය කිරීම වෙනුවෙන් සියලුම ක්‍රීඩා සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ බලය සහ පූර්ණ අධීක්ෂණය හිමි විය යුතු බවටද එමඟින් යෝජනා කර තිබෙනවා .

මෙම ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරිය මූලික අරමුණු 8ක් සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක විය යුතු බවද අධ්‍යයන කමිටු වාර්තාව විසින් යෝජනා කර තිබෙනවා.

එමෙන්ම එම අධිකාරිය සාමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විත වනවා. අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ජාතික ඔලිම්පික් කමිටුවෙහි (NOC) සභාපතිවරයා නිල බලයෙන් යෝජිත අධිකාරිය සඳහා පත්වනු ඇති.

යම් ක්ෂේත්‍රයක හෝ ව්‍යාපාර හා වාණිජ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෘත්තිකයන් තිදෙනෙකු, ජාතික ක්‍රීඩා කණ්ඩායමක හිටපු නායකයන් හෝ ක්‍රීඩාවට හා රටට සුවිශේෂී සේවාවක් ලබාදුන් පුද්ගලයින් අතුරින් 02 දෙනෙකු, ජාතික ඔලිම්පික් කමිටුව යටතට අයත් නොවන ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක (NSA) හිටපු සභාපතිවරයෙකු මෙන්ම මුදල්, අධ්‍යාපන හා සෞඛ්‍ය යන අමාත්‍යාංශ තුනෙහි ලේකම්වරුන් විසින් නම් කරන නියෝජිතයන් තිදෙනෙකුගෙන් සමන්විත විය යුතු බවටද යෝජනා කර තිබෙනවා.

යෝජිත ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරියේ නිල කාලය වසර 04කි. ඒ සඳහා නම් කිරීමෙන් සහ නිල බලයෙන් පත්වන සාමාජිකයින් හැර අනෙක් සියලුම සාමාජික තනතුරු සඳහා පත්කිරිම් සිදු කිරීමට අදාළ නාමයෝජනාවන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කර අනුමැතිය ලබාගත යුතු බවටද යෝජනා කර ඇති බව සඳහන්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?