Latestදේශීයනවතම ලිපිමතවාදසංස්කෘතික

සිනහා …. කදුලූ… එනවා…. යනවා …. ජනාධිපති සම්මාන උළෙල

(විදර්ශන කන්නන්ගර)

නෙළුම් පොකුණේ පැවති ‘ජනාධිපති සම්මාන උළෙල’ වනාහී ‘සිනහා..කදුලූ..එනවා..යනවා…’ වර්ගයේ උණ්ඩුක පුච්චය ඇඹරී යන තරමේ ඉතිහාස ගත සිද්ධියකි. හුදී ජන පහන් සංවේගය උදෙසා එහි විශේෂ අවස්ථා කිහිපයක් මෙසේ සිහිපත් කර සිටිමු.

* ප්‍රේක්ෂකාගාරය තුළදී නන්දා මාලිනීට සම්මානයක් පිරිනැමූ ඉතිහාස චක්‍රවර්තී රනිල් වික්‍රමසිංහ ඒ මොහොතේදීම ඇය ගම්පෙරළිය චිත්‍රපටියේ ‘දොයි දොයි ගීතයට’ මුලින්ම සම්මානයක් දිනා ගත් බව සිහිපත් කර සිටීම.

* නවකථා සක්විති රනිල් වික්‍රමසිංහ සිය ප්‍රධාන කතාව තුළ දී රන්මුතු දූවේ ‘මාලිනී ෆොන්සේකා ගේ රංගනය’ පිළිබදව ජනතාව දැනුවත් කිරීම

* ලෙස්ටර් ජේමිස් පීරිස් සිනමාවට පැමිණියේ ඩේවිඩ් ලීන්ගෙන් පසුව ඔහුගේ සහායකයා ලෙස බව අප මහා පඬිවර රනිල් වික්‍රමසිංහ එම කතාව තුළම තවදුරටත් පැහැදිළි කිරීම

* කමල් අද්දරආරච්චි ලෙස වෙස්වලා ගත් රෝහණ විජේවීර ඔහුව මරා දැමූ ඝාතකයකු වන බටලන්දේ රනිල් වික්‍රමසිංහ අතින් සම්මානය ගැනීම

* බටලන්දේ රනිල් ප්‍රමුඛ එවක එජාප ආණ්ඩුව විසින් විජේවීර ඇතුළු අරගල පරපුර වනසා දැමීම පිළිබදව කළ ‘ගින්නෙන් උපන් සීතල’ වසරේ හොදම චිත්‍රපටිය ලෙස රනිල් වික්‍රමසිංහගේම අතින් සම්මානයක් ගැනීම

* 2020 හොදම චිත්‍රපටිය ලෙස ‘නිව්ස් පේපර්’ සම්මානය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අතින් බන්දුල ගුණවර්ධනම ලබා ගැනීම

* සිනමාවේ හය හතර අනුව වුවත් ඒ වසරේ හොදම තිරරචනය වෙනුවෙන් සම්මානය දිය යුතු බූපති නලීන් (දැකල පුරුදු කෙනෙක්) ඇගයුමට පත් නොකර නොමිනේට් වීමට පවා තිරරචනයක් නොමැති ‘ගින්නෙන් උපන් සීතල’ ආරියවංශ ධම්මගේ හොදම තිරරචනයට බටලන්දේගෙන්ම සම්මානයක් ගැනීම.

* 80 අග එජාප-රාජ්‍ය මර්දනය පසුබිම් කරගත් පාංශු චිත්‍රපටිය බටලන්දේගේ අතින්ම හොදම චිත්‍රපටියට සම්මානයට පාත්‍ර වීම හා හොදම නිලිය ලෙස නීටා ප්‍රනාන්දු බටලන්දේගේ අතින්ම සම්මානය ගැනීම.

* අරගලයේ අමුඩ විරෝධය ප්‍රකාශ කළ සුමුදු ගුරුගේ මෙවර හොදම සංගීතය වෙනුවෙන් අමුඩ නැතුව සම්මානය ලබා ගැනීම.

මෙසේ තවත් ත්‍රාසජනක-ශෝක ජනක-විකට අවස්ථා කිහිපයක් අද දින තිරගත වූ අතර ඉතිහාසය තුවක්කු බටයෙන් නොව ගුද මාර්ගයෙන් ගමන් කරමින් සිටින යුග මොහොතක අප ජීවත්වන බවට පුදුම කරමින් සභාතොමෝ වාහන වල නැගී පිටව ගියහ.

( ප.ලි.-2020 ‘පාංශු’ වෙනුවෙන් හොදම අධ්‍යක්ෂණය වූ විසාකේස,හොදම සහය නළුවා වූ ජගත් මනුවර්ණ හා හොදම සහය නිලිය වූ නදී කම්මැල්ලවීරත් 2019 ‘දැකල පුරුදු කෙනෙක්’ වෙනුවෙන් හොදම තිරරචනයට නිර්දේශ වූ බූපති සහ හොදම අධ්‍යක්ෂණයට නිර්දේශ වූ මලිත් හෑගොඩත් වත්මන් දේශපාලන කල්ලිය විසින් පිරිනමන සම්මාන ලබාගැනීමේ අවස්ථාව ප්‍රතික්ෂේප කිරීම සදහා දැනුවත්ව සහභාගී නොවූ බව පෙනුණි.)

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?