Latestදේශීය

අපේ අදූෂිත දේශපාලන ව්‍යාපාරය සතුරන්ට අභියෝගයක් – ටිල්වින් සිල්වා

“ඒ වගේම අපි ජාතික ජන බලවේගයත් එක්ක එකතුවී අදූෂිත දේශපාලන ව්‍යාපාරයක් ගොඩනඟා තිබෙනවා. දූෂිත, කළු ආර්ථිකයක් ඇතුළේ අදූෂිත දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කිරීම, අදූෂිත දේශපාලන නායකත්වයක් නිර්මාණය කිරීම අදූෂිත සාමාජිකයින් නිර්මාණය කිරීම ඉතා අසීරු වැඩක්. අන්න ඒ අමාරුම වැඩේ අපි සිදු කර තිබෙනවා. ජාතික ජන බලවේගයට කැමති වෙන අය කැමති වීමට ප්‍රධානම හේතුව අදූෂිත දේශපාලන ව්‍යාපාරයක් වීම බව සමීක්ෂණයකින් පවා හෙළි වී තිබෙනවා. එය සරල දෙයක් නෙවෙයි. දූෂිත නොවී සිටීම විහිළුවක් වූ සමාජයක ඒවා දරාගෙන ආදර්ශ දීම ලෙහෙසි වැඩක් නොවෙයි. හොරකම් කළාම විහිළු නොකරන, හිතවතෙකුගෙන් පරිත්‍යාගයක් ලැබීම විහිළුවට ලක්වුණු සමාජයක අපි අදූෂිත සංස්කෘතියක් නිර්මාණය කර තිබෙනවා. දැන් ඔවුන්ට අපේ අදූෂිත බව අභියෝගයක් වී තිබෙනවා. ඔවුන් උත්සාහ කරන්නේ ඔවුන් දූෂිත නිසා ජේ.වී.පී. එකත් දූෂිතයි කියලා සමාජ මතයක් හදන්න. ඒ වෙනුවෙන් නිර්මාණය කළ ඇතැම් ප්‍රවෘත්තිවලට එරෙහිව අපි ක්‍රියාමාර්ග අරගෙන ඒවා නිර්මාණය කරපු අයට සමාව ගන්නත් සිදුවුණා. විශේෂයෙන්ම අනුර සහෝදරයා ඉලක්ක කරගත් මඩ ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා. ඔවුන් එකිනෙකා අතර අවලාද බෙදා ගනිමින් මේ ගෙනයන මඩ ව්‍යාපාරයෙන් ලේවලින් බැඳුණු අපේ සහෝදරත්වය බිඳින්න බැහැ. අපේ පක්ෂයේ සිටි වැරදි කළ අයට එරෙහිව අපි පියවර ගත්තා. මේ වගේ අපේ හොඳම ගුණාංගයන් රැකගෙන ඉදිරියට ඇවිත් සිටිනවා. අපේ ජීවිතයේදී එකතු කරගත් හොඳම දේවල් පක්ෂයට එකතු කරමින් පැමිණි ගමනේ මහජන කැමැත්ත මත බලය ගැනීමේ ඉලක්කයට අප ළං වී සිටිනවා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ මහරගම තරුණ සේවා ශ්‍රවණාගාරයේ පැවති 4වැනි ඉල්මහ විරු සමරුව අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා,

“මීට වසර 34කට පෙර ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ, රෝහණ විජේවිර සහෝදරයා පක්ෂේ ප්‍රධාන ලේකම්ව සිටි උපතිස්ස ගමනායක සහෝදරයා ඇතුළු අපේ පක්ෂයේ නායකයෝ, අපේ ගුරුවරුන් වූ සහෝදරියන් සහෝදරවරුන් විශාල ප්‍රමාණයක් ‘ඉල් මාසයේ’ අපි අනුස්මරණය කරනවා. ‘ඉල් මාසය’ අපේ මතකයන් අලුත් කරන, බොහෝ දේවල් ඉගෙන ගන්න මාසයක්. 1989න් පස්සේ අපට ඉල් මාසය අමතක කළ නොහැකිව තිබෙනවා. රෝහණ සහෝදරයා කියල තිබුණා “අපි වේලාසන අවදි වූයෙමු. අප වේලාසන අවදිවූ පමණින් වේලාසන හිරු පායන්නේ නැත. එහෙත් හිරු පායන විට, වේලාසන අවදි වී සිටීම අපට වාසි ගෙන දෙනු ඇත.” කියලා.

අපි හැමෝම කලින් අවදි වුණු මිනිස්සු. අපි දිගු කාලයක් අවදි වී සිටියා. ඉතාම අන්ධකාර රාත්‍රීන්, අති දුෂ්කර රාත්‍රීන් ගත කළා. කලින් අවදි වී සිටි අපට දැන් අලුත් ලෝකයක් සඳහා උදාවන ප්‍රභාතය, අලුත් හිරු කිරණ අපේ දෑස්වලට පෙනෙන්න පටන්ගෙන තිබෙනවා. 34 වැනි ඉල්මහ විරු සමරුවට පැමිණ සිටින්නේ නව සමාජයක් නිර්මාණය කිරීමේ ජයග්‍රහණයට අතේ දුර තබාගෙන. මේ අවස්ථාව මග හැර යාමට හෝ වරද්දා ගැනීමට කාටවත් අයිතියක් නැහැ. අප යා යුතු දිශාව, අරමුණු නැවත සිහිපත් කර ගන්න මෙය අපට හොඳ අවස්ථාවක්.

අපෙන් සමහරු අහනවා ඇයි අපි ඉතිහාසයේ ජීවත් වෙන්නේ කියලා. අපි අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන, ඉතා පැහැපත් අනාගතයක් වෙනුවෙන් වර්තමානයේ වැඩකරන මිනිස්සු. අපිට ජයග්‍රහණය කිරීමට අනාගතයක් තිබෙනවා. අනාගතය වෙනුවෙන් වැඩකිරීමේදී අපට ඉතිහාසය අවශ්‍ය වෙනවා. අනාගත ජයග්‍රහණවලට මඟ පෙන්වන්නේ ඉතිහාසයේ පාඩම්. අපේ රටේ තිබෙන මේ ඛේදවාචකයට හේතුවක් තමයි, පාලකයෝ පසුගිය කාලයේ ඉතිහාසය පැත්තකින් තැබීම. 1978 රට පාලනය කළ ජේ.ආර් ජයවර්ධන පළමුවෙන්ම කළේ ඉතිහාසය පැත්තකින් තැබීම. ඉතිහාසයක්, අරමුණක්, ගැඹුරක්, අධ්‍යාත්මයක් නැති බොල් සමාජයක් නිර්මාණය කළා. ඒ සමාජ ඛේදවාචකයේ අපි ඔක්කෝම ගිලිලා ඉන්නේ. අපට ඉතිහාසය ඕනෑ. ඉතිහාසයේ ජීවත් වෙන්න නොවෙයි, ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න. ඒ අවලාද ගහන මහත්වරුන්ට තාමත් ඉතිහාසයෙන් මිදෙන්න නොහැකි වී තිබෙනවා.

අපට අවලාද ගහන ඒ අය ජීවත්වෙන්නේ ජයවර්ධන විසින් නිර්මාණය කළ ඉතිහාසයේ. ඒ ගොල්ලෝ නිතරම කියන එකක් තමයි ‘88 භිෂණ සමය’. භීෂණයක් තිබුණා 1977 ඉඳලා. ඒක තමයි එක්සත් ජාතික පක්ෂයේ භීෂණය. ඒකට මුහුණ දුන් ව්‍යාපාරය තමයි අපි. අපේ ව්‍යාපාරය මර්දනය කර, නායකයෝ ඝාතනය කරලා ජයවර්ධන ඉතිහාසයක් ලිව්වා. ඒ ඉතිහාසය තමයි මහින්ද රාජපක්ෂ අරගෙන යන්නේ. ඔවුන් ඉතිහාසය තම තමන්ට වුවමනා ආකාරයට ලියා ගන්නවා. අරගලයකින් පසුව ඉතිහාසය ලිව්වේ ජයග්‍රහණය කළ අය. සමාජ සාධාරණය වෙනුවෙන්, විමුක්තිය වෙනුවෙන් කළ අරගලයක් පරාජය වුණාට පසුව ඒ අරගලයට හානි වෙන අයුරින් ජයග්‍රහණය කළ අය ඉතිහාසය ලිව්වා. ඒ ඉතිහාසය වෙනස් කිරීමේ කාලය දැන් උදාවෙලා තිබෙනවා. මෙතෙක් ගෙන ආ වැරදි ඉතිහාසය වෙනස් කිරීමත්, අලුතින් ලිවීමේ වගකීමත් ඔබට, අපට පැවරිලා තිබෙනවා.

රෝමයේ වහල්කම පැවති යුගයේ, ඒ වහල්කමට එරෙහිව සටන් කළ ස්පාටකස් පාලකයන් විසින් ඝාතනය කළා. රෝම පාලකයන්ගේ ඉතිහාසයට අනුව ස්පාටකස් අපරාධකරුවෙක්. නමුත්, වසර ගණනාවකට පසුව අද ස්පාටක්ස් මුළු ලෝකයටම වීරයෙක් වෙලා තිබෙනවා. 1818 පැන නැගුණු ඌව වෙල්ලස්ස කැරැල්ල සුදු අධිරාජ්‍යවාදීන් විසින් කුඩුපට්ටම් කළා. කැරැල්ල මෙහෙයවපු කැප්පෙටිපොළලා සුදු පාලකයන්ට අනුව රාජ ද්‍රෝහීන්, ත්‍රස්තවාදීන් වුණා. සුදු පාලකයෝ ඉතිහාසය ලිව්වේ එහෙම. ඒ වගේම 1848 මාතලේ කැරැල්ල මෙහෙයවපු පුරන්අප්පු කණ්ඩායම ඝාතනය කළා. ඔවුන් ඉතිහාසය ලිව්වා පුරන්අප්පු කණ්ඩායම ත්‍රස්තවාදීන් බවට පත්කොට. ඒ ඉතිහාසය තමයි සමහරු අදටත් කරගහගෙන ඉන්නේ. ඉතිහාසය නැවත කියවා ගන්න, ලියන්න වුවමනා කාලයක් ඇවිත් තිබෙනවා.

මේ ඉතිහාසය 77න් පටන් ගන්න ඕනෑ. 1977 ජේ.ආර්. ජයවර්ධන බලයට ඇවිත් විධායක බලතල සහිත ආණ්ඩුවක් හදාගත්තා. තනි පුද්ගලයෙක් අතට බලය ගත්තා. ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් නිර්මාණය කළා. විපක්ෂය මර්දනය කිරීමට පටන් ගත්තා. සියලු බලවේග මර්දනය කිරීමට පටන් ගත්තා. පොලිසි, හමුදාවට අමතරව වෘත්තීය සමිතිවලින් මැර කණ්ඩායම් හැදුවා. පත්තරවල ඒ මැර කණ්ඩායම් ‘තග් සංස්ථාව’ ලෙස හැඳින් වූවා. විශාල ලෙස ජනතාව පීඩාවට පත් කළා. 1980 ජූලි වර්ජනයට කලින් සෝමපාල නමැති කම්කරුවා ඝාතනය කළා. 80 ජූලි වර්ජනයේදී ලක්ෂයකට වැඩි පිරිසක් රැකියාවලින් එළියට දැම්මා. සමහරු දිවි නසා ගත්තා. විශාල කාලයක් රැකියා නැතිව සිටියා. ඒ ඉතිහාසය කිසිවෙක් කතා කරන්නේ නැහැ. එයින් නතර වුණේ නැහැ. 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දයේදී මැර ඇමතිවරු යාපනයේ ඡන්ද පෙට්ටි සොරකම් කරලා ගිනි තිබ්බා. පුස්තකාලය ගිනි තැබුවා. උතුරේ විරසකයට බලපෑ එක කරුණක් ඒක. රනිල් කියන්නේ ඒ අවදියේ ජේ.ආර්.ගේ ආණ්ඩුවේ ඇමති කෙනෙක්. ධවල පත්‍රිකාවට එරෙහිව සටන් කළ ශිෂ්‍යන්ට පහර දුන්නා. අයිතිවාසිකම් ඉල්ලූ ජනතාවට පහර දුන්නා. අධ්‍යාපන කප්පාදුවට එරෙහිව ගෙන ආ ධවල පත්‍රිකාවට එරෙහි සටනට ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දුන් නිසා එය ක්‍රියාත්මක කරන්න පාලකයන්ට නොහැකි වුණා. ශිෂ්‍ය ව්‍යාපාරය ගෙන ගිය සටන නිසා අධ්‍යාපනය රැක ගැනීමට හැකි වුණා.

එතනින් නොනැවතී ආණ්ඩුව විවේචනය කළ බොහෝ දෙනාට පහර දෙන්න පටන් ගත්තා. ‘ධර්මිෂ්ට සමාජයක්’ පොත ලියපු මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ට මැරයන් ලවා කාණුවේ දාලා පහර දුන්නා. කාන්තා පෙළපාලියක් යන අවස්ථාවේදී විවියන් ගුණවර්ධන ඇතුළු කාන්තාවන්ට පහර දුන්නා. සමහර නඩු තීන්දු දුන් විනිශ්චයකාරවරුන්ගේ නිවෙස්වලට මැරයන් ලවා ගල් ගැස්සුවා. අධිකරණයට බලපෑම් කළා. ජේ.ආර් ජයවර්ධනලා නිර්මාණය කළේ මෙවැනි ඉතිහාසයක්. ස්ත්‍රී දූෂණවලට සිරගත වී සිටි ගෝනවල සුනිල්ට ජනාධිපති සමාව දීලා ඉන් නොනැවතී සාමවිනිසුරුකමත් දුන්නා. මෙවන් ඉතිහාසයකට වගකියන්නේ කවුද? රනිල් එදා ආණ්ඩුවේ ඇමතිවරයෙක්. ඔහුත් මේවාට වගකිව යුතුයි.

1982 ජනමත විචාරණයක් ගෙනාවා. 1983 මහ මැතිවරණය පැවැත්වූවා නම්, ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට එනවා. ජේ.ආර්.ගේ හයෙන් පහේ බලය අහිමි වෙනවා. ඒක වළක්වන්න ඒ පාර්ලිමේන්තුවම තවත් අවුරුදු හයකට දීර්ඝ කර ගන්න ජනමත විචාරණයක් තිබ්බා. ඒක කොල්ලකාරී ජනමත විචාරණයක්. අපේ නායක රෝහණ විජේවීර සහෝදරයා ඒ ජනමත විචාරණයට එරෙහිව, අධිකරණයේ නඩුවක් දැම්මා. හැමෝම යටපත් කරගෙන වැඩ කළාට ජනතා විමුක්ති පෙරමුණ යට කරන්න බැහැ කියන එක ජේ.ආර්. තේරුම් ගත්තා. 1983 ජේආර්ලා නිර්මාණය කළ ජූලි ජාතිවාදී කෝලාහල පාවිච්චි කරලා ජනතා විමුක්ති පෙරමුණ, නව සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂයත් තහනම් කළා. මාස කිහිපයකට පසුව කොමියුනිස්ට් පක්ෂයේ සහ නව සම සමාජ පක්ෂයේ තහනම ඉවත් කළා. ජනතා විමුක්ති පෙරමුණේ තහනම ඉවත් කළේ නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කළ ව්‍යාපාරයක්. ජනාධිපති ඡන්දයේදී ඡන්දෙ ඉල්ලලා රෝහණ විජේවීර සහෝදරයා පස් දෙනෙකුගෙන් තුන්වෙනියා බවට පත් වුණා. ඡන්දවලට ඉදිරිපත් වූ, ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණි, මහජනතාව සංවිධානය කළ දේශපාලන ව්‍යාපාරයක් තහනම් කිරීමට තිබූ හේතුව මොකක්ද? අදටත් එයට හේතුවක් නැහැ. 1983 ජූලි කලබලවලට අපව සම්බන්ධ කළාට අපට නඩුවක් වත් නැහැ. පක්ෂය තහනම් කළා පමණක් නොවෙයි එය දිගින් දිගටම පවත්වාගෙන ගියා. රෝහණ විජේවීර සහෝදරයා, පක්ෂ තහනම ඉවත් කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළා; ජනාධිපති ලේකම්ට ලිව්වා; මානව හිමිකම් සංවිධානයට ලිව්වා. ඒ අවදියේ පක්ෂයේ ලේකම් ලයනල් බෝපගේ සහෝදරයා අත්අඩංගුවට පත් වුණා. නිදහස් වී පැමිණ ජනාධිපති ලේකම් මැණික්දිවෙල හමුවෙලා කිව්වා තහනම ඉවත් කරන්න කියලා. එයට කිසිවෙක් ඇහුම්කන් දුන්නේ නැහැ. ජේආර්ට මිලදී ගත නොහැකි, යට කරන්න, බය කරන්න බැරි, ඒ අයගේ දේශපාලනට අභියෝගයක් වී අපේ පංතියෙන් නැගුණු මේ ව්‍යාපාරය විනාශ කිරීමේ සැලැස්මක හිටියා. ඒ ඉතිහාසය කිසිවෙක් කතා නොකරන්නේ ඇයි?

1988ක් අහම්බෙන් ආවේ නැහැ. 83 ජනතා විමුක්ති පෙරමුණ ආයුධ ගත්තාද? 84, 85, 86, 87 ආයුධ ගත්තද? නැහැ. අපි දිගටම තහනම ඉවත් කරවා ගන්න උත්සහ කළා. ‘තහනම ඉවත් කරන්න කියා’ මමත් පෝස්ටර් අලවලා තියෙනවා. ඒ පෝස්ටර් ගහපු සහෝදරවරු අල්ලගෙන ගොස් මරා දැමුවා. ඒ ඉතිහාසය ලියා තිබෙනවාද? පරීක්ෂණ තිබෙනවාද? 1987 මැයි දිනය තහනම් කළා. ජනතාව අභයාරාමයට එකතු වුණාම එතෙන්ට වෙඩි තිබ්බා. දෙන්නෙක් මිය ගියා. එපමණක් නොවෙයි, 1987 ගිවිසුම් අත්සන් කොට, ඉන්දියාවට ලංකාව පාවා දුන්නා. එතනදි දේශප්‍රේමී අරගලයක් පටන් ගත්තා. එය සිවිල් යුද්ධයක් දක්වා ගමන් කළා. ඒ සිවිල් යුද්ධය ඇතුලේ තමයි 88-89 ගැන කතා කරන්නේ. 88-89 ජයවර්ධනලා විසින් සැලසුම් සහගතව නිර්මාණය කළ එකක්. එය මඟහැර යාමට ගත් උත්සාහයන් ව්‍යවර්ථ වුණාම එයට මුහුණ දෙන්න සිදුවුණා. “දණින් වැටී ජීවත් වෙනවාට වඩා, දෙපයින් සිට මිය යාම උතුම්” කියලා අපිට විශ්වාසයක් තිබුණා. අදත් අපි දණින් වැටී ජීවත්වීමට සූදානම් නැහැ.

අද දේශපාලනය වෙනස් වෙලා. අපේ ව්‍යාපාරයත් සමග මහා ජනතා ව්‍යාපාරයක් ඒකරාශී වී ඉන්නවා. අද ලෝක දේශපාලනය වෙනස් වෙලා. ජනමාධ්‍ය පුළුල් වෙලා තිබෙනවා. ජනතාව අතරට වේගයෙන් තොරතුරු ගලාගෙන යනවා. ආණ්ඩුවෙ අය එකිනෙකාට නැහැ. දුර්වල වෙලා. ජනාධිපතිට ව්‍යවස්ථාවෙන් මිස මහජන බලයක් නැහැ. එදා කරපු සෙල්ලම් අද කරන්න බැහැ. එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ‘කොළ කොටි’, ‘ප්‍රා’ වැනි නිල නොවෙන මැර කණ්ඩායම් හැදුවා. ජනතා විමුක්ති පෙරමුණ අපකීර්තියට පත් කරන්න, පෞද්ගලික පළිගැනීම් සඳහා ඝාතන ගොඩක් කළා. හමුදා පවුල්වල අය ඝාතනය කළේ කුමන්ත්‍රණයක් හැටියට. එදා තාක්ෂණය තිබුණා නම් ඒවා අහුවෙන්න තිබුණා. එක උදාහරණයක් ගත්තොත් ප්‍රේමකීර්තිද අල්විස් මහත්මයාගේ ඝාතනය ගැන එතුමාගේ බිරිඳ සහ දරුවන් තහවුරු කර කිවුවා ආණ්ඩුවත් එක්ක දැනුත් ඉන්න මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබලයෙක් ඝාතනයට හවුල් වුණා කියලා. ප්‍රසිද්ධියේ කීවත් දැනුත් ඒ ගැන පරීක්ෂණයක් කර නැහැ.

මේ ඉතිහාසයේ ගමන ගැන දන්නේ නැතිව රනිල් වික්‍රමසිංහලාගේ, රාජපක්ෂලාගේ ෆේස් බුක්වල ලියන මල්ලිලාට කියන්නේ ඉතිහාසය හරියට කියවා ගන්න කියලා. අපට මිනිස්සු වටිනවා. අපේ ව්‍යාපාරය හදලා තිබෙන්නේ, දැවැන්ත දුෂ්කරතා මැද වැඩ කරන්නේ අපි මිනිස්සුන්ට ආදරය නිසයි. අපි මිනිසුන්ගේ දුක නැතිකරලා සතුටින් තබන්න වැඩකරන ව්‍යාපාරයක්. අපි අද සමරන්නේ තමන්ගේ ජීවිත පැත්තක තියලා පොදු ජනතාවගේ ජීවිතවලට සතුට, වටිනාකම, ලබාදෙන්න ක්‍රියාකළ ව්‍යාපාරයක විරුවන්. ජනතා විමුක්ති පෙරමුණ 1988-89 කාලයේ සිද්ධි ගැන දකින්නේ ඒ විදිහට. රටක් හදන්න තිබුණු දැවැන්ත තරුණ පරම්පරාවක් විනාශ කළ දේශපාලනය පරාජය කර, අපි ඉදිරියට යා යුතුයි. ඒ ඉතිහාසය ඇතුලේ අපි අපේ අඩුපාඩුකම් දැක්කා. පාලක කණ්ඩායම්, රනිල් වික්‍රමසිංහ ඒ ඉතිහාසය ගැන අදටත් මොකුත් කියන්නේ නැහැ. දැන් අපි ඒ ඉතිහාසයෙන් ඉස්සරහට යා යුතුයි. රට මේ වන විට ඉතාමත්ම කණගාටුදායක තත්වයක තියෙන්නේ.

පරණ කරපු බොරුවම පාලකයන් අද ඉදිරිපත් කරන අයවැයෙනුත් සිදුකරමින් තිබෙනවා. ලක්ෂ 15කට රැකියා නැතිවී කර්මාන්තවල නිෂ්පාදනය 27%කින් බිඳ වැටිලා. අද මේ රටේ ආර්ථිකයක් නැහැ. රටේ තිබුණු කර්මාන්ත විකුණමින් කන්න පටන් ගත්ත ක්‍රියාමාර්ගය අද තැපැල් කන්තෝරු විකිණීම දක්වා ඇවිත් තිබෙනවා.
ඉල් සමරුවේ අත්දැකීම් අපි උපයෝගී කර ගන්නේ මානවවාදී දේශපාලනයක යෙදෙමින් සමාජයක් වෙනස් කිරීමටයි. මේ සමාජය වෙනස් කළ හැකි දැවැන්ත මිනිස් බලයක් සහිත, ධෛර්යය සහිත, අත්නොහැර සටන් කරන දේශපාලන ව්‍යාපාරයක් අපි ගොඩනඟා තිබෙනවා. දුෂ්කරතා අභිබවා අරමුණු කරා නොනැවතී යන දේශපාලන ව්‍යාපාරයක් තිබෙනවා නම්, ඒ ජනතා විමුක්ති පෙරමුණ විතරයි. තත්වයන් එක්ක අලුත් වුණු, අලුත් විය හැකි බව ඔප්පු කළ තමන්ගේ හොඳම දේවල් ඉතිරි කර ගනිමින් වෙනස් වෙන එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණයි. ආත්මාර්ථකාමීත්වයෙන් තොර මිනිසෙක් නිර්මාණය කළ හැකි බව අපේ පක්ෂය භාවිතයෙන් ඔප්පු කර තිබෙනවා. පොදු අරමුණක් සහිතව වැඩ කරන පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ සිටින බව මහජනතාව පිළිගෙන තිබෙනවා. අවසානයේ ජීවිතත් කැප කළ හැකි, අරමුණු අත්නොහරින ව්‍යාපාරයක් බව ඔප්පු කර තිබෙනවා.

ඒ වගේම අපි ජාතික ජන බලවේගයත් එක්ක එකතුවී අදූෂිත දේශපාලන ව්‍යාපාරයක් ගොඩනඟා තිබෙනවා. දූෂිත, කළු ආර්ථිකයක් ඇතුළේ අදූෂිත දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කිරීම, අදූෂිත දේශපාලන නායකත්වයක් නිර්මාණය කිරීම අදූෂිත සාමාජිකයින් නිර්මාණය කිරීම ඉතා අසීරු වැඩක්. අන්න ඒ අමාරුම වැඩේ අපි සිදු කර තිබෙනවා. ජාතික ජන බලවේගයට කැමති වෙන අය කැමති වීමට ප්‍රධානම හේතුව අදූෂිත දේශපාලන ව්‍යාපාරයක් වීම බව සමීක්ෂණයකින් පවා හෙළි වී තිබෙනවා. එය සරල දෙයක් නෙවෙයි. දූෂිත නොවී සිටීම විහිළුවක් වූ සමාජයක ඒවා දරාගෙන ආදර්ශ දීම ලෙහෙසි වැඩක් නොවෙයි. හොරකම් කළාම විහිළු නොකරන, හිතවතෙකුගෙන් පරිත්‍යාගයක් ලැබීම විහිළුවට ලක්වුණු සමාජයක අපි අදූෂිත සංස්කෘතියක් නිර්මාණය කර තිබෙනවා. දැන් ඔවුන්ට අපේ අදූෂිත බව අභියෝගයක් වී තිබෙනවා. ඔවුන් උත්සාහ කරන්නේ ඔවුන් දූෂිත නිසා ජේ.වී.පී. එකත් දූෂිතයි කියලා සමාජ මතයක් හදන්න. ඒ වෙනුවෙන් නිර්මාණය කළ ඇතැම් ප්‍රවෘත්තිවලට එරෙහිව අපි ක්‍රියාමාර්ග අරගෙන ඒවා නිර්මාණය කරපු අයට සමාව ගන්නත් සිදුවුණා. විශේෂයෙන්ම අනුර සහෝදරයා ඉලක්ක කරගත් මඩ ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා. ඔවුන් එකිනෙකා අතර අවලාද බෙදා ගනිමින් මේ ගෙනයන මඩ ව්‍යාපාරයෙන් ලේවලින් බැඳුණු අපේ සහෝදරත්වය බිඳින්න බැහැ. අපේ පක්ෂයේ සිටි වැරදි කළ අයට එරෙහිව අපි පියවර ගත්තා. මේ වගේ අපේ හොඳම ගුණාංගයන් රැකගෙන ඉදිරියට ඇවිත් සිටිනවා. අපේ ජීවිතයේදී එකතු කරගත් හොඳම දේවල් පක්ෂයට එකතු කරමින් පැමිණි ගමනේ මහජන කැමැත්ත මත බලය ගැනීමේ ඉලක්කයට අප ළං වී සිටිනවා.

ඉල්මහ විරු සමරුවේදී ඒ සහෝදර සහෝදරියන් අපට ලබාදී තිබෙන අත්දැකීම්, පරමාදර්ශයන්, සහ ඔවුන්ගේ අරමුණු අනුව වඩා යහපත් සමාජයක් නිර්මාණය කරන්න කැප වෙනවා. සාධාරණ සමාජයක්, යුක්තිගරුක මනුෂ්‍යයෙක්, නිවහල් ලංකාවක් බිහිකිරීමේ අරමුණින් ඉදිරියට ගිය ඔවුන් අතරමඟ මරා දමද්දී අපට වගකීම් බාරගන්න සිදුවුණා. ඉතා නුදුරු දිනයකදී ඔවුන්ගේ බලාපොරොත්තු මේ මහ පොළොවේ මල් ඵල ගන්වන දිනයක් එනවා. එය දූෂිතයන්ට, රනිල් වික්‍රමසිංහලාට, මහින්ද රාජපක්ෂලාට වළක්වන්න බැහැ. අපට තව බොහෝ දේ කළ යුතුව තිබෙනවා. එකතු කළ හැකි, එකතු කළ යුතු පිරිස්, අත්දැකීම්, දැනුම එකතු කරගෙන මහා දැවැන්ත ජනතා ව්‍යාපාරයක් ගොඩනඟමින්, ගුණයන් ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමේ වගකීම අපි හැමදෙනාටම තිබෙනවා. අපි මහජනතාවගේ පාලනයක් නිර්මාණය කළ යුතුයි. ඒ වෙනුවෙන් සුදුසු මහජනතාවක් නිර්මාණය කිරීමට එකාවන්ව සංයමයෙන්, ඉලක්ක සහිතව, බොරුවලවල්වලට පය නොතබා, වඩාත් සටන්කාමීව මේ ගමන යන්න අපි ශක්තිමත් වෙන්න ඕනෑ. රෝහණ සහෝදරයා කිවුවේ මේ යුගයේ ප්‍රබලතම අවිය ‘අදහස්වලින්’ සටන් කිරීමයි කියලා. රනිල් වික්‍රමසිංහලා, මහින්ද රාජපක්ෂලා අදහස්වලින්, මතවාදයෙන් පරද්දලා ඉවරයි. දැන් තිබෙන්නේ රාජ්‍ය බලයෙන් පරද්දවන්න. ඒ වෙනුවෙන් ඉල් සමරුවෙන් ගත හැකි වටිනාකම් තිබෙනවා.

අපි ජීවත් වෙන්නේ ඉතාමත් විනාශකාරී නරුම සමාජයක. හැම දේකම මිල දන්නා, වටිනාකම් නොදන්නා සමාජය වෙනස් කර, මේ රට අපට ජීවත් විය හැකි හොඳ රටක් බවට පත්කිරීමේ අරමුණ ජයග්‍රහණය කරන්න ඕනෑ. තිස් හතරවෙනි ඉල්මහ සමරුවේදී අපි හැමදෙනාම අධිෂ්ඨාන කර ගනිමු තිස් පස්වෙනි ඉල්මහ සැමරුම මහජන පාලනයක් තුළ සමරන්න. මගේ කතාව අවසන් කරන්න කලින් රත්න ශ්‍රී විජේසිංහ ලියූ කවි පංතියක් උපුටා දක්වන්න කැමතියි. 1971 අරගලය ගැන ලියූ ඒ කවි පංතිය අදටත් ගැලපෙන ලොකු අර්ථයක් තිබෙන කවියක්.

ඉතිං යහළුවනි මල් පිපුණොත් ගසක
සැකක් නැතිය ඵලයක් හට ගනු නිසැක
සිතින් අතනෑර මල්වල මුදු මෙලෙක
වරෙව් පරාගණයට රොද බැඳ හනික

මේ දුෂ්ට සමාජය වෙනස් කර, වඩා යහපත් සමාජයක් අපේ දෑතින් නිර්මාණය කරන්න හැමදෙනාටම ශක්තිය, ධෛර්යය ලැබේවා.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?