Latestක්‍රීඩා

2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගය අද

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගය අද (19) පැවැත්වීමට නියමිතයි.

ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර ඉන්දියාවේ, අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී ය.

මූලික වටයේ තරග 09න් 09ම ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම, අවසන් තරග සඳහා පිවිසෙන්නේ, ඉතාම ප්‍රබල මානසිකත්වයක් යටතේ වීම විශේෂත්වයකි.

ඔවුන් සහභාගි වූ තරග 09න් එකදු හෝ තරගයක් වත් තරගකාරී ලෙස හමාර නොවිණි.

ඒ සියලු තරග ඉන්දියාව ජයගත්තේ, ඉතා පහසු ආකාරයෙනි.

මූලික වටයේ ප්‍රබල කණ්ඩායම් 02ක් වූ දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය, ඉන්දියාවට පීඩනයක් එල්ල කරනු ඇති බව සිතුව ද එම රටවල් දෙක ද ඉන්දියාව හමුවේ අන්ත පරාජයන්ට ලක් විය.

අවසන් පූර්ව වටය ද නවසීලන්තය හමුවේ ඉන්දියාව ජය වාර්තා කළේ පහසු ආකාරයෙනි.

කෙසේ වෙතත් සමස්ත තරගාවලියේ ඉන්දියාවට කුඩා හෝ පීඩනයක් එල්ල කිරීමට සමත් වූයේ, අවසන් පූර්ව වටයේ නවසීලන්තය පමණි.

අද තරගයේ දී ඉන්දීය කණ්ඩායමේ ප්‍රතිවාදින් වන ඔස්ට්‍රේලියාව ද මූලික වටයේ දී ඉන්දියාව හමුවේ කඩුලු 06ක පරාජයක් ලැබුවේය.

කෙසේ හෝ මෙවර ක්‍රිකට් ලෝක කුසලානය යනු, පෙර නොවූ විරූ ලෙස පුවත් මැවූ තරගාවලියක් බව නිසැකයෙන්ම පැවසිය හැක.

කුමන හෝ ආකාරයකට ඉන්දියාව මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කරන බවට සමාජ මාධ්‍යය තුළ පුවත් පළ විය.

ඒ සඳහා අයිසීසී නීති, තාක්ෂණය සහ තණතීරු යොදා ගැනීම ආදී නොයෙකුත් උපක්‍රමයන් ඉන්දියාව විසින් අනුගමනය කරනු ලැබ ඇති බව එම සමාජ මාධ්‍ය පුවත්වල සටහන් ව තිබිණි.

ඔස්ට්‍රේලියාව ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගයකට ක්‍රීඩා කරන 08 වැනි අවස්ථාව මෙය වේ.

ඉන් අවස්ථා 05ක දී ඔවුහූ ලෝක කුසලානය සිය මව්බිමට දිනා දීමට සමත් වූහ.

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව මීට පෙර එක් අවස්ථාවක දී අවසන් මහා තරගයක හමු වී තිබෙන අතර, එහි දී එවකට ලොව සිටි ප්‍රබලම ක්‍රිකට් කණ්ඩායමක් වූ ඔස්ට්‍රේලියාව හමුවේ ඉන්දීය කණ්ඩායම පරාජයට පත් විය.

ඒ, 2003 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ය.

ඉන්දියාව අවසාන මහා තරග 03ක ක්‍රීඩා කර ඇති අතර, ඉන් අවස්ථා දෙකක දී ශුරතාව දිනා ගත්තේය.

ඒ, 1983 දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ 2011 දී ශ්‍රී ලංකාව පරාජයට පත් කරමිනි.

අද තරගය මෙරට වෙලාවෙන් පස්වරු 02.00ට ආරම්භ වීමට නියමිතයි.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?