Latestදේශීය

පාසල් ආරම්භයට පෙර පාසල් නිල ඇඳුම් හා පෙළ පොත් ලබා දෙනවා – අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

දීපව්‍යාප්ත පිරිවෙන් ආයතන 825ක සංවර්ධනය වෙනුවෙන් ලබන මාර්තු මාසය වන විට පිරිවෙන් සංවර්ධන අරමුදලක් ස්ථාපිත කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

එම අරමුදලට අනුග්‍රහය දැක්වීම සඳහා බොහෝ දෙනා ඉදිරිපත් ව ඇති අතර රටේ පවත්නා ආර්ථික අර්බුද හමුවේ එවන් නීත්‍යනුකූල විකල්ප ක්‍රියාමාර්ග වෙත යොමු වෙමින් සංවර්ධන ඉලක්ක ජය ගැනීමට ක්‍රියා කළ යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ ය.

වෙනත් අධ්‍යාපන අවශ්‍යතා ඉටු කරගැනීම වෙනුවෙන් ද එලෙස විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කළ බව පැවසූ අමාත්‍යවරයා ඒ අනුව තමාගේ ඍජු මැදිහත් වීමෙන් 2023 වර්ෂයේ පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබා ගත් අතර මෙවර එය 80% දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වූ බව ද සඳහන් කළේ ය. පාසල් පෙළ පොත්, දිවා ආහාර වැනි අනෙකුත් අවශ්‍යතා ද එවැනි ප්‍රතිපාදන හා අනුග්‍රහ ඔස්සේ සිසු දරු දැරියන් අතට නිසි කලට ලබා දීමට පෙර වර්ෂයේ දී ක්‍රියා කළ බව හෙතෙම පැවසී ය. මෙවර ගිය වර්ෂයේ මෙන් ඉන්දියානු ණය ආධාර වෙත යොමු නොවී වසරක කාලයක් තුළ අදාළ රාජ්‍යායතන ශක්තිමත් කර රජයේ අරමුදලින් පමණක් සියලු‍ පෙළ පොත් මුද්‍රණය කිරීමට ක්‍රියා කළ බවත් මේ සියලු‍ ප්‍රතිලාභ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට මෙන් ම සීලමාතාවන්ට ද හිමි වන බවත් 2024 නව පාසල් වාරය ආරම්භ වන පෙබරවාරි 19 දිනට ප්‍රථම පිරිවෙන් හා පාසල් නිල ඇඳුම් මෙන් ම පෙළ පොත් ද ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේ ය. පිරිවෙන් අංශයේ දීර්ඝකාලීන ව පවතින ගැටලු‍වලට ක්‍රමානුකූල ව විසඳුම් ලබාදීමට ක්‍රියා කරන බැව් ද සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් කී ය.

අමාත්‍යවරයා මේ අදහස් දැක්වූයේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති පිරිවෙන් අධ්‍යාපන අංශයේ නව පරිවේණාචාර්ය පත්වීම් ප්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි. දීපව්‍යාප්ත පිරිවෙන් 825ක් හා සීල මාතා අධ්‍යාපන ආයතන 13ක් සඳහා බලපැවැත්වෙන පරිදි පරිවේණාචාර්ය තනතුරු 120කට මෙහි දී පත්වීම් ලිපි ප්‍රදානය සිදු කෙරිණි.

පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක හිමියන්ගේ හා ජාතික පිරිවෙන් උපදේශක දොඩම්පහල ශ්‍රී රාහුල හිමියන්ගේ අනුශාසකත්වය මත අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා ද සහභාගි විය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?