Latestදේශීයමතවාදසංස්කෘතික

රහස් අසන්නට බලන්නට කැමති අයට රහස් කියන කදු

(නිලංක ඇලෙක්සැන්ඩර්)

තවද එක් සමයක්හී යළි උපදින්නට හේතු වාසනාවන්ත එක් දේශයක විප්ලවීය රැඩිකල් මත දැරූ තාරුණ්‍යය යනු රෝගයක්ම වේයැයි සිතු පාළක පිරිසක් විසින් එකී රෝගය එරටින් තුරන් කරනු වස් විවිධාකර සමාජ සත්කාර එරට පුරා දියත් කරනු ලැබීය. ඒ අතරන් විවිධ පුනරුත්ථාපන කදවුරු තුළ එම රෝගී තරුණ ප්‍රජාව ඒකරාශිකොට ඔවුන්ව ඉන් මුදාගනු පිණිස විවිධාකාරයේ උපදේශනගාරද පවත්වාගෙන යනු ලැබු අතර ඒවා මගින් තරුණ ප්‍රජාව නිසි මගට යොමු වේයැයි බිය වු බොහෝ දෙනා එම උපදේශනාගාර කෙරෙහි අනියත බොරු පවසමින් එවා අහිංසකයින් වද බන්ධනයට පත් කරනවන වධකාගාර යැයි  අසත්‍ය පුවත්ද ප්‍රචලිත කරන්නටද විය. එසේම එම ‍යුගයේ රැඩිකල් තාරුණ්‍යය රෝගය වැළදුනු යළි නිසිමගට ගැනීමට අපහසු බොහෝ තරුණ පිරිස් මහමග ටයර් සෑ මත පුලුස්සා දුටු දුටු තැන මරා දමන ලද්දේද එම රෝගයෙන් අනික් අහිංසක තරුණයන් ගළවා ගනු පිණිසමය. මේ උතුම් ක්‍රියාව වටහගත නොැහකි වූ ඒ රෝගය වැළදුනු තරුණ තරුණියන්ගේ දෙමාපියන් තම දරුවන්ව යළි නිවෙස් වෙත එවන ලෙස ඉල්ලමින් විවිධාකාරයේ ක්‍රියාමාර්ගවල නිරත වූ නමුත් සමාජයේ සුබසිද්ධිය ගැනම සිතූ ඒ මහා පාළක පිරිස මේ කිසිදු බාධකයකින් නොසැලි මතුව ආ ඒ තාරුණ්‍යයේ රෝගය ඒ පිං බිමෙන් අතුගා දැමීමට සියල්ල කරන ලදී. 

ඒ යුගයේ ඒ පිරිස් විසින් සිදුකරන ලද ඒ ක්‍රියාදාමයන් මේ වන විට මේ යුගයේ බොහෝ දෙනාගෙන් කෙමෙන් කෙමෙන් අමතක වෙමින් පවතියි. ඒවා බොහෝමයක් මේ වන විට රහස් ලෙසින් කදුවල පමනක් නොව ඇතැම් ක්‍රොන්කීට් ගොඩනැගිලි තුළද සැගවී පවතියි. නමුත් ඒ යුගයේ විප්ලවීය තාරුණ්‍යය රෝගයක් ලෙසින් සළකා එය මැඩලීමට වධකයින් විසින් සිදුකරනු ලැබු ඒ ම්ලෙච්ඡ ක්‍රියාකාරකම් නිරන්තරයෙන් එම අචේතනික වස්තු අපහට පවසනමුත් අවාසනාවකට අපට ඒවා ඇහෙන්නේ නැත. ඒ අප ඒවා අහන්නේ නැති නිසාවෙනි. 

රහස් කියන කදු…, චිත්‍රපටයේ කතාව, තිර පිටපත මෙහෙම වුවා නම් හොදයැයි සිතෙන තැන් බොහෝමයක් මට තිබේ. ඒත් ඒ මං රහස් කියන කදු තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කරානම්ය. දැන් එය ජගත් මනුවර්ණගේ රූපමය වියමනකි. එය ඔහුට හොදයි කියා සිතෙන විදියට පෙළ ගස්වන ලද කතාවකි, තිර පිටපතකි. ඒ නිසා රහස් කියන කදු චිත්‍රපටයේ කතාවේ සහ තිර පිටපතේ තිබෙන ඒ අඩුපාඩු ගැන නොකියා එක් යුගයක මෙරට තාරුණ්‍යයට අත් වූ ඛේදනීය ඉරමණ ගැන මෙලෙසින් හෝ කියාපෑමට ඔහු ගත් ඒ උත්සහයට මා⁣ගේ ආචාරය පුද කරමි. මා ඔබට රහස් කියන කදු බලන්න කියා නොකියමි. ඔබට එය බලන්න සිතෙනවා නම් කවුරු හා කිව්වත් එපා කිව්වත් ඔබ එය බලනවාමයි කියාද සිතමි. මා හට නං රහස් කියන කදු සිතට දැනුණු සිනමා නිර්මාණයකි. 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?