Latestදේශීය

මහින්දට, ගෝඨාභයට උදව් කළත් වැඩක් වුනේ නැහැ, ඒ නිසා දේශපාලනයට ආවා – දිලිත් ජයවීර

මව්බිම ජනතා පක්ෂය යනු රැවටිලිකාර ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරමින් ජනතාව අතරට යන පක්ෂයක් නොව උපායමාර්ගික වැඩපිළිවෙළක් සහිතව ගමනක් යන පක්ෂයක් බව එහි නායක දිලිත් ජයවීර පැවැසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ විශාඛා පාර, සුමේධ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී 19 වැනි දා පැවැති ගම්පහ දිස්ත්‍රික් සමුළුව අමතමින්ය.

“අපට ණය මත දුවන රටක් එපා. අපට අවශ්‍ය වන්නේ ව්‍යවසායකත්ව, නිර්මාණශීලි විසඳුම් සොයන රාජ්‍යයක් ගොඩනංවා මේ රට වැටී ඇති වළෙන් ගොඩ ගැනීමයි. එය ණය ගන්නා රාජ්‍යක් නොවෙයි.” යැයිද හෙතෙම කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මෙසේද කීය.

“පසුගිය කාලසීමාවේදී පැවති දේශපාලන රැස්වීම් හරහා රටට කිසිදු සෙතක් නොවූ නිසා අද දේශපාලන රැස්වීම්වලට මිනිස්සු එන්න කැමැති නැහැ. අද මේ රැස්වීමට ජනතාව සහභාගී වී සිටින්නේ නව ගමනක් රටට උදාකරදීම සඳහා නිර්මාණශීලී වැඩපිළිවෙළක් අප සතුව ඇති නිසයි. එය රටේ ජනතාව හිස් අතින් ආපසු යවන වැඩපිළිවෙළක් නොවේ. දින වකවානු සහිතව මේ රට ගොඩගත හැකි නිර්මාණශීලි වැඩපිළිවෙළක්. මේ රටේ දූෂිත දේශපාලනය කොටස් වශයෙන් නොව සම්පූර්ණයෙන්ම අයින් කර දැමිය යුතුයි. එය කර අවසන්වන තුරු මේ රට දුගී බවට පත් වී වළපල්ලට යනවා. ඉන් ඔබත් රටත් මුදා ගැනීම සඳහා දැනෙන වෙනසක් කළ හැකි යුගය උදාකර දෙන්නේ මව්බිම ජනතා පක්ෂයයි. මේ රටේ ආණ්ඩු පත් කරන්න මෙන්ම ගෙදර යවන්න බලපෑම් කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවයි.

2004 වසරේ පැවති ආණ්ඩුවට බලපෑම් කිරීමටත්, අගමැතිවරයා ගෙදර යවන්නත්, යුද්ධය අවසන් කිරීමටත්, අප මහින්දට උදව් කළා. ගෝඨාභයටත් උදව් කළා. නමුත් පලක් වුණේ නැහැ. රට ගොඩ ගියේ නැහැ. ඒ නිසා තමයි රට ගොඩගත හැකි අලුත් පක්ෂයක් හදාගෙන ජනතා හද ගැස්ම හඳුනාගෙන අපි එන්නේ. අපේ පක්ෂය තාරුණ්‍යයේ පක්ෂයක්. අපි මේ කතා කරන්නේ ඔවුන් වෙනුවෙන්. නිර්මාණශීලි ශ්‍රී ලංකාවක් බිහි කරන්න අපිට ඔවුන් සමග එකතුව යා හැකි ගමන බොහෝ දුරයි.

අපි ඔබ ළඟට එන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශන අරගෙන නොවේ. අපි උපායමාර්ගික වැඩපිළිවෙළක් සහිතවයි ඔබ ළඟට එන්නේ. මේ රට නිර්මාණශීලින්ගෙන් බහුල රටක්. අපි නිර්මාණශීලි ජාතියක්. අපිට පුළුවන් තනියෙන් හිතන්න. අපිට පුළුවන් අලුත් දේවල් කරන්න. අපිට අවශ්‍ය සුබසාධන රාජ්‍යක් නොවේ. අපේ වෑයම සතුට දැනෙන රටක් බිහි කිරීමයි. මෙම ව්‍යවසායකත්ව, නිර්මාණශීලි විසඳුම් සොයන රාජ්‍යක් කියන සංකල්පය භාවිත කරපු බොහෝ රටවල් ඉදිරියට ගියා. ඉදිරියට යමින් පවතිනවා.

අපේ අසල්වැසි රාජ්‍ය බිලියන එකයි දශම හයක් සිටින රට වසර පහකින් වේගවත් ආර්ථික සංවර්ධනයක් ලබා ගත්තේ උපායමාර්ගික ප්‍රවේශය නිසයි. ඒ ව්‍යවසායකත්ව රාජ්‍ය මනස නිසයි. අපිට ඒක කරන්න බැරි වුණේ දේශපාලකයාට ජනතාවගේ හදගැස්ම කියවා ගැනීමට නොහැකි වුණු නිසා. ඡන්දයකදී පමණක් ජනතාව අතරට ගියපු නිසා. ඉන් පසුව ජනතාවට මොකද වුණේ කියලා හොයලා බලපු නැති නිසා. ඒ වගේම දේශපාලනය ඔවුන්ගේ රැකියාව බවට පත් කර ගත් නිසා. මේක අපි කරන්න ඕනෑ ජනතාව ජීවත් කරවන්න මිසක් තමන් ජීවත් වීමට නොවේ.”

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර

අද අපේ රටට අලුත් දේශපාලන පක්ෂයක අවශ්‍යතාව තියෙනවා. ජනතාවට පීඩා කරපු පාලනයන් පිළිබඳ ජනතාවට දැන් විශ්වාසයක් නැහැ. රතු මල්ලිලා රෝස වෙනකොට මාමයිට් බෝතල් බෝම්බ, ලයිට් කණු කැඩීම්, බස් ගිනි තැබීම් අදත් ජනතාවට අමතක නැහැ. අපි ගැන පරණ පක්ෂවලට රිදිලා. නිර්මාණශීලි ව්‍යවස්ථාදායක වැඩපිළිවෙළක් ඇති රට ගොඩ ගන්න අපේ පක්ෂයට ගොවියාගේ නිෂ්පාදනවලට නිසි මිලක් ලබා දී පාරිභෝගිකයාටත් සහනයක් ලබාදෙන වැඩපිළිවෙළක් තියෙනවා. කෘෂිකර්මාන්තය දියුණු කර රට දියුණු කරන්න හැකි නායකත්වයක් අපේ පක්ෂයේ තියෙනවා. මේ දූෂිත දේශපාලනය මේ රටින් තුරන් කර රටට යහපත උදා කර දෙන්න හැකියාවක් අපේ නායකත්වයට තිබෙනවා.

පක්ෂයේ සභාපති සරත් අමුණුගම

අද අපේ රටේ තියෙන්නේ අවදානම් තත්ත්වයක්. මේ රටේ ආණ්ඩු ඇති කරන්නෙත් ගම්පහ දිස්ත්‍රික් ජනතාවයි. අද ජනතාව පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ගැන සැකයෙන් තමයි ඉන්නේ. කර්මාන්ත, රැකියා අවස්ථා දියුණු කර නිසි නායකත්වයක් යටතේ මුළු රටම විප්ලවීය වෙනසක් ඇති කරවන නව දේශපාලන රටාවක් අපේ පක්ෂය තුළින් ඉදිරිපත් කරනවා. අපේ රටේ ජනගහනයෙන් සියයට 53ක් කාන්තාවන්. ඒ අයට තමයි හදවතටම දැනෙන්නේ රටේ මේ පවතින අමාරුකම්. දැන් ඒ බහුතරයක් අපේ පක්ෂය සමග අත්වැල් බැඳගෙන සිටිනවා.

@Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?