Latestදේශීය

සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල වෘත්තීය ගැටළු විසදීමට පියවර – රමේෂ් පතිරණ

සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල වෘත්තීය ගැටළු විසදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබදව මාධ්‍ය දැනවත් කිරිම අරමුණු කරගනිමින් විශේෂ මාධ්‍ය හමුවක් (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම මාධ්‍ය හමුව සදහා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද එක්ව සිටියහ.

අමාත්‍යධූරයට පත්ව මාසයක් පමණ ගත අවස්ථාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබදව දැනුවත් කිරිම සදහා මෙම විශේෂ මාධ්‍ය හමුව පැවැත්වීමට අදහස් කළ බවත්, පසුගිය මාසයක කාලය තුළ මෙරට බොහෝ සෙයින් කථිකාවට භාජනය වූ අංශ කිහිපයක් පිළිබදව අවධානය යොමු කළ බවද පැවැසිය. මෙරට වෛද්‍ය සැපයීම් සහ ඖෂධ පිළිබද කාරණය එහි ප්‍රධානතම කරුණක් බවත්, මෙරට ඇති වූ සුවිශේෂ තත්ත්වයන් සමග හදිසි මිලදී ගැනීම් සිදු කිරීමට සිදු වූ නමුත් ඇති වූ ගැටළු සමහරක් සමග හදිසි මිලදී ගැනීම් මේ වනවිට සම්පූර්ණයෙන් නවතා තිබෙන බව ද පැවැසීය. වෛද්‍ය සැපයීම් පිළිබදව ප්‍රසම්පාදන කටයුතු වඩාත් යථාවත් කොට‌ විනිවිද සුළු භාවයෙන් සිදු කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රධාන අවධානයක් යොමු කර තිබෙන බවත්, ඒ වෙනුවෙන් යම්කිසි කාලයක් ගතවන බැවින් ඒ පිළිබදව විශ්වාසය තබන ලෙස ද ඉල්ලා සිටින ලදි.

සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මාධ්‍ය හමුවේ දී සිදු කළ අදහස් දැක්වීම පහත පරිදි වේ.

“මේ පිළිබදව රජය මෙන්ම සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන බහුපාර්ශ්විය ආයතන, ලෝක සෞඛ්‍ය සංවිධානය, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව ඇතුලු ආයතන රැසක් අපට උදව් කිරීමට ඉදිරිපත්ව තිබෙනවා. වෛද්‍ය සැපයුම් අංශයට වගේම ඖෂධ නියාමන අධිකාරියට නව සභාපතිවරයෙක් පත් කර තිබෙනවා. එහි කටයුතු යථාවත් කිරීමට එතුමන් කටයුතු කරනු ලබනවා. දීර්ඝ කාලයක් තිස්සේ මෙරට තිබුන ප්‍රධාන ගැටළුවක් වන ඖෂධ නියාමන අධිකාරිය පමණක් නොව ඖෂධ තත්ත්ව පරීක්ෂණ රසායනාගාරය වැඩිදියුණු කිරිමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස අපි රජයෙන් ඉල්ලා තිබෙනවා. ඒ අනුව ගරු ජනාධිපතිතුමා අයවැය කථාවේ දී සදහන් කළා මුල්‍ය ප්‍රතිපාදන වෙන්ව ඇති බව. ඒ අනුව ඖෂධ නියාමන අධිකාරියේ රසායනාගාරය වැඩිදියුණු කිරිමට, ධාරිතාවය වැඩි කිරිමට, වඩාත් නිවැරදිව ඖෂධ පිළිබද පරීක්ෂණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය පසුතලය සකස් කිරිමට කටයුතු කරන බව සදහන් කරනවා. එමෙන්ම පසුගිය කාලය තුල සෞඛ්‍ය සේවාවට සම්බන්ධ විවිධ වෘත්තීන් නියෝජනය කරන වෘත්තීය සමිති රැසක් සමග සාකච්ඡා කරන්න අවස්ථාව ලැබුනා. ඔවුන් මුහුණ දෙන වෘත්තීය ගැටළු මෙන්ම ආර්ථික ගැටළු ගණනාවක් තිබෙනවා. පවතින තත්ත්වයන් යටතේ හැකි අයුරින් ආර්ථීක ප්‍රතිලාභ ජනතාවට ලබාදිමට අයවැය මගින් කටයුතු කර තිබෙනවා වගේම සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල වෘත්තීය ගැටළු විසදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් අපි මැතිහත් වෙනවා. අපි සෑම දෙනාගෙන්ම බලාපොරොත්තු වෙන්නේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් සියළු දෙනා එකට එක්ව වැඩ කර ජනතාවට එහි ප්‍රතිලාභ ලබාදීමයි.”

මෙරට සෑම රජයක්ම නිදහස් සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම විටම සදහන් කරන කාරණයක් තමයි අඩු පිරිවැයකින් වැඩි ඵලදායිතාවයක් ලබාදෙන විශිෂ්ඨ සෞඛ්‍ය සේවාවක් මේ රටේ පවතින බව. එය ශක්තිමත් කිරිම සහ ඉහළට ගෙන යාම අපේ වගකීමක් වෙනවා. මාතෘ මරණ, ළදරු මරණ, එන්නත් වැඩපිළීවෙල ඇතුලු කාරණා රැසක ශ්‍රී ලංකාව ඉදිරියට ගොස් තිබෙනවා. හොද දර්ශක ලබාගෙන තිබෙනවා. අනාගතයේ දී මෙරට ට බලපාන ගැටළු රැසක් තිබෙනවා ඒ අතර බොනොවන රෝග, අනතුරු වළක්වා ගැනීම ප්‍රධාන කරුණක් වෙනවා. හදිසි අනතුරු නිසා වර්ෂයකට 12,000 ජිවිත රටට අහිමි වෙනවා. දිනකට ජිවිත 35 නැති වෙනවා. ඒ සම්බන්ධයෙන් බහුපාර්ශ්වීය ආයතන සමග කටයුතු කිරීමට විශේෂ අවධානය යොමු කර වැඩ කර ජනතාවගේ ජිවිත ආරක්ෂාව වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරිමට බලාපොරොත්තු වෙනවා.”

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීම සහ ආරක්ෂා කිරීම, ගුණාත්මකභාවය වැඩිදියුණූ කිරිම කෙරෙහි අවධානය යොමු කරමින් සියළු ජනතාවට එහි ප්‍රතිඵල ලබාදෙමින් තෘතියික සේවාවන් හි තිබෙන ගුණාත්මකභාවය ආරක්ෂා කරගෙන මහ රෝහල්, ශික්ෂණ රෝහල් ඇති රෝහල්වල කටයුතු වඩාත් විධිමත්ව සිදු කිරිමට අවශ්‍ය පසුතලය නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා.”

“සෞඛ්‍ය ලේකම්ධූරය සදහා පාලිත මහීපාල මහතා පත්කිරීම විශේෂත්වයක්. මෙම තනතුරට පත්වීමට ප්‍රථම එතුමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පකිස්ථාන රජයේ නිත්‍ය නියෝජිත තනතුරේ කටයුතු කරනු ලැබුවා. බුද්ධි ගලණය පිළිබදව කථිකාවතක් ඇතිව තිබෙන අවස්ථාවක එතුමා මෙරට සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් විශාල චේතනයක්, පිළිගැනීමක් රැකියාවක් අතහැර පැමිණ තිබෙනවා. මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර තිබෙන එතුමාගේ විශේෂඥ දැනුම සමග සෞඛ්‍ය සේවාවේ සියළු කණ්ඩායම් සමග මෙරට සෞඛ්‍ය සේවාවේ මතු උන්නතිය, ස්ථාවරභාවය හා ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කළ හැකි වෙතැයි විශ්වාස කරනවා.”

නිලධාරින් වෙනස් කිරිම සම්බන්ධව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ නිලධාරින් හිතුමතේ වෙනස් කළ නොහැකි බවත්, ගොඩක් ආයතන දේශපාලනයෙන් ව්‍යුක්තව ඇති බවත්, දේශපාලන නියෝජිතයින්ට හෝ කැබිනට් මණ්ඩලයට නිලධාරීන් වෙනස් කළ නොහැකි බවයි. ඊට මාරුවීම් ලබාදීම් ඇතුළු යම් ක්‍රමවේදයන් වන බව ද පැවැසීය. ඒ සදහා යම් කාලයක් අවශ්‍ය බවත්, එකම ස්ථානයක විශාල කාලයක් රැදී සිටින නිලධාරින් ද වන බවත් වෙනත් ස්ථාන වලට ස්ථාන මාරුවෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීම් සිදු ඇති බව ද පැවැසීය. වැරදි කර තිබෙනවා නම් ආයතනය හරහා විනය පරික්ෂණ ක්‍රියාවලියක් හරහා අවශ්‍ය කටයුතු සිදු වන බව ද පැවැසීය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?