Latestදේශීය

අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇතිකරනවා – සුසිල් ප්‍රේමජයන්ත්

පසුගිය වසරට වඩා මෙවර අයවැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්ව ඇති ප්‍රතිපාදන තුළ  රුපියල් බිලියන 55ක වැඩිවීමක් සිදුව ඇති බවත්, අර්බුදකාරී ආර්ථික පසුබිමක පැවතියදීත් රටක් වශයෙන් අධ්‍යාපනය නගාසිටුවීම වෙනුවෙන් එවැනි අවධානයක් යොමුවීම පිළිබඳ  විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමා සතුටට පත්වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ අද(05) ට යෙදී තිබුණු අධ්‍යාපන වැය ශිර්ෂය සම්බන්ධව සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

2023 වර්ෂයේ අධ්‍යාපනය වෙනුවෙන් තිබූ මුදල රුපියල් බිලියන 466. 276 වන බවත් මෙවර අයවැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 517.05 ක් වෙන්ව ඇති බව ද එය පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 55ක වැඩිවීමක් බව ද  වැඩිදුරටත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

පෙළ පොත් මුද්‍රණයට කඩදාසි නොතිබුණු, ගුරුවරුන්ට විභාග රාජකාරී සඳහා යාමට තෙල් පෝලිම්වල සිටින්නට සිදුවුණු රට ම අර්බුදයකට පත්ව තිබූ මොහොතක  විෂය භාර අමාත්‍යවරයා වශයෙන් වත්මන් ජනාධිපතිතුමන් විසින් 2022 වර්ෂයේ තමා පත්කරන ලද බවත් එතැන් සිට මේ වනවිට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැවති බොහෝ ගැටළු හඳුනාගනිමින් පියව‍රෙන් පියවර මෙම තත්වයට පත්කරගැනීමට කටයුතු කළ බවත් මෙහි දී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

බොහෝ දියුණු රටවල ජාතික ධනයෙන් විශාල කොටසක් නියෝජනය කරන්නේ STEAM අධ්‍යාපනය තුළින් ගොඩනැගුණු මානව සම්පත් බවත් මෙරට පාසල් පද්ධතිය තුළ ද ඒ වෙනස ඇති කිරීම වෙනුවෙන් විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු, කලා සහ ගණිත ක්ෂේත්‍රයන් හරහා විධිමත් ප්‍රවේශයක් දරුවන්ට ලබාදිය යුතු බව ද ඒ වෙනුවෙන් ප්‍රමුඛතාව ලබාදීමට පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා පැවසීය.

මෙවර උසස් පෙළ සමත් සිසුන්ගෙන් සිසුන් 43000කට සරසවි ප්‍රවේශයට  අවස්ථාව සලසා දෙන බවත්,  විෂය වර්ග අනුව  විශ්වවිද්‍යාල 17ටම සරසවි ආචාර්යවරුන්ගේ පුරප්පාඩු සියල්ල පිරවීමට පියවර ගන්නා බවත්,  සමස්ත අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණයට දේශීය හා විදේශීය අනුගාහක පාර්ශවයන්ගෙන් ද සහාය ඇතිව පියවර ගන්නා බවත්, 1-5/6-9/10-13 ශ්‍රේණි සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ නියමු වැඩසටහන ලබන වසරේ දී ආරම්භ කරන බවත් වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම වයස අවුරුදු  21ට පෙර  සරසවියෙන් පිටවීමට හැකිවන පරිදි සිසුන්ගේ පාසල් විභාග පැවැත්වෙන ශ්‍රේණි සංශෝධනයට සැලසුම් කර ඇති බවත් ඒ අනුව ඉදිරියේ දී සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදීත් උසස් පෙළ විභාගය 12 ශ්‍රේණියේදීත් පැවැත්වීමට සැලසුම් කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම ඉදිරි වසර තුළ වතු පාසල් සංවර්ධනය වෙනුවෙන් ගුරුවරුන් 2535ක් බඳවා ගනිමින් ඔවුන් සඳහා පුහුණු අවස්ථා ලබාදීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

වයස අවුරුදු 3-5 දක්වා වන මුල් ළමා විය සංවර්ධනය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ද අධ්‍යාපන අමාත්‍යාංශය ළමා ලේකම් කාර්යාලය ජාතික අධ්‍යාපන ආයතනය හා යුනිසෙෆ් සංවිධානය සමග එක්ව සැලසුම් කර ඇති බවත්, මෙරට විශේෂ අධ්‍යාපනය සංවර්ධනයට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගතව සැලසුම් සකස් කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා‍ බවද වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

2030 වසර වනවිට සෑම දරුවෙකුට ම දිවා ආහාර වේලක් ලබාදීමට පියවර ගන්නා බව ද, පාසල් දරුවන්ට පාවහන් ලබාදීම වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2500 ක් වෙන්ව ඇති බවත් එබැවින් පාවහන් තිළිණපත් ලබාදෙන සිසුන් සංඛ්‍යාව ලක්ෂ 10ක් දක්වා වැඩිකිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

එළඹෙන වසරේ මුල වනවිට මෙරට පාසල් පද්ධතිය තුළ පවත්නා ගුරු හිඟය සම්පූර්ණයෙන් පියවීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා තවදුරටත් පැහැදිලි කළේය.

@ Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?