Latestදේශීය

කොන්ත්‍රාත්කරුවන්ගේ සියලු මුදල් 2023දී ගෙවා අවසන් කරනවා – ප්‍රසන්න රණතුංග

කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුධය හේතුවෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට ගෙවීමට නොහැකි වී තිබූ රුපියල් මිලියන 1989.75 ක මුදල මේ මස 31 වන දිනට පෙර ගෙවා අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම මුදල ගෙවීමත් සමග කොවිඩ් වසංගතය හේතුවෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය නොගෙවා තිබූ බිල්පත් සියල්ල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් වන බවයි.

මීට අමතරව මේ වසර තුළ කළ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීමට ඇති රුපියල් මිලියන 1112.57 ක මුදලද මේ වසර අවසන් වීමට පෙර සම්පූර්ණයෙන්ම ගෙවා දැමීමට සැලසුම් කර ඇති බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

ආර්ථික අර්බුදය හා කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය දරුණු පසුබෑමකට ලක්වූ අතර මේ නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත කොන්ත්‍රාත්කරුවන් හා ඉදිකිරීම් ශිල්පීන් දැඩි පීඩාවකට පත් වූහ.

විෂය භාර ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ තත්වය ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට ලක් කිරීමෙන් පසුව මේ පිළිබදව අවශ්‍ය පියවර ගැනීම සදහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් කමිටුවක්ද පත් කෙරිණ. ඒ අනුව අදාළ ගෙවීම් කටයුතු කඩිනම් කිරීමට පියවර ගත් අතර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය අදාළ හිග බිල්පත් ගෙවා අවසන් කරන්නේ ඒ අනුවයි.

මේ අතර ඉදිකිරීම් කර්මාන්තය සදහා වෙන් වුණු සංවර්ධන බැංකුවක් පිහිටුවීම සදහා වන යෝජනාවක් මේ වන විට ඉදිරිපත්ව තිබේ. අදාළ යෝජනාව පිළිබදව සංකල්ප පත්‍රිකාවක් මහා භාණ්ඩාගාරයට ඉදිරිපත් කර ඇති අතර ඊට ලැබෙන ප්‍රතිචාර අනුව නව බැංකුව ස්ථාපනය කෙරෙන බවද ඇමතිවරයා කියයි.

(ප්‍රදීප් අනුර කුමාර)

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?