Latestදේශීය

තැපැල් සේවක වැටුප් වැඩිකරන්න බැහැ – බන්දුල ගුණවර්ධන

එළඹෙන වසර ලංගම ඉතිහාසයේ විශාල වෙනස්කම් රාශියක් සිදුවන වසරක් බවට පත්වනු ඇති බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ක්‍රීඩා පාලක සභාව මගින් මෙහෙයවන ලද 2023 වර්ණ ප්‍රදානෝත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ තරග ඉසව්වලදී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ජයග්‍රහණ හිමිකර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයමින් 165 දෙනෙකු සඳහා තිළිණ සහ සහතික පත්‍ර ප්‍රදානය මෙහිදී සිදු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“එළඹෙන වසරේ ලංකා ගමනාගමන මණ්ඩලය අනිවාර්යෙන් ලාභ ලබන තත්ත්වයට ලඟා විය යුතුයි. පුද්ගලිකකරණයෙන් තොරව ආයතනයක් වශයෙන් පවත්වාගෙන යෑම සඳහා එම ඉලක්කයට ළඟා වීම අත්‍යවශ්‍යයි. සේවකයින් 23000ක්‌ සේවය කරන තැපැල් දෙපාර්තමේන්තුව අපේ අමාත්‍යංශ විෂය පථය යටතේ ක්‍රියාත්මක වනවා. රජයේ ප්‍රතිපත්ති ඒ අයට වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. ඔවුන් විසින් වැටුප් වැඩි කිරීමක් ඉල්ලා සිටියත් මේ අවස්ථාවේ එය සිදුකිරීමට හැකියාවක් නැහැ. රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප්, සමෘද්ධි ඇතුළු සහනාධාර ගෙවීමෙන් අනතුරුව භාණ්ඩාගාරයේ වෙනත් කිසිදු අමතර මුදලක් ඉතිරි වන්නේ නැහැ. රජයේ අනෙකුත් සියලු කටයුතු සිදු කර තිබෙන්නේ විදේශීය සහ දේශීය වශයෙන් ණය ලබා ගැනීමෙන්.

ලබාගත් ණය නොගෙවීම මත මේ වන විට තවත් ණය ලබා ගැනීමේ හැකියාවක් රටට නැහැ. මීට පෙර පැවති රජයන් සිදුකළ ආකාරයට මුදල් මුද්‍රණය කිරීමේ නීතිමය හැකියාවක්ද මේ වන විට නැහැ.

එම නිසා ලංකා ගමනාගමන මණ්ඩලයද තම ආයතනය උපයා ගන්නා ආදායමෙන් වැටුප් ගෙවීමේ තත්ත්වයට පත්වීම මූලික අවශ්‍යතාවයක්. නව සභාපතිවරයා පත්වීමට පෙර ලංකාවේ ඩිපෝ 107ක්‌ අතරින් තිස් නවයකට වැටුප් ගෙවා ගැනීමට හැකියාවක් පැවතුණේ නැහැ.

මේ වන විට එම ඩිපෝ ප්‍රමාණය නවයක් දක්වා අවම වී තිබෙනවා. ඉතාමත් කාර්යක්ෂමව කටයුතු කරමින් හොඳින් ලාභ ලබන ඩිපෝ විශාල ප්‍රමාණයක් පවතිනවා. පොදු ප්‍රවාහන සේවාවන් සැපයීම තුළින් පුද්ගලික අංශයට ලාභ ලැබීමේ හැකියාවක් පවතිනවා නම් රාජ්‍ය අනුග්‍රහයක් සහිතව ක්‍රියාත්මක වන ආයතනවලටද ලාභ ලැබීමට හැකියාවක් පවතිනවා.

රියදුරන්, කොන්දොස්තරවරුන් ඇතුළු ඇතැම් පිරිස් සිදු කරන මූල්‍ය අක්‍රමිකතා වළක්වා ගත හැකිනම් ආයතනයේ ආදායම තවත් 50%කින් පමණ ඉහළ නැංවීමේ හැකියාව පවතිනවා. මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා එළඹෙන වසරේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඩිජිටල් ක්‍රමවේදයකට අනුව සිදු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අප කටයුතු කරනවා.QR ක්‍රමවේදයකට අනුව හෝ කාඩ්පත් මගින් ගෙවීමේ ක්‍රමවේදයක් සැකසීම තුළින් මුදල් භාවිතයකින් තොරව අවශ්‍ය ගනුදෙනු කිරීම තුළින් බොහෝ අක්‍රමිකතා වැළැක්විය හැකියි.

පවතින ක්‍රමයට පොසිල ඉන්ධන භාවිතය වෙනුවට එළඹෙන වසරේදී විදුලි බස් රථ ලංගම මගින් ධාවනයට එක් කිරීමට අප කටයුතු කරනවා. චීනය කොරියාව ඇතුළු ලෝකයේ බොහෝ දියුණු රටවල් මේ වනවිටත් විදුලි බස් රථ ධාවනය සිදුකරනවා.2030 වන විට සමස්ත ලෝකයේම පොසිල ඉන්ධන භාවිතය අවම කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එම නිසා එළඹෙන වසර ලංකා ගමන මණ්ඩලයේ 66 වසරක ඉතිහාසයේ විශාල වෙනස්කම් රාශියක් සිදුවන වසරක් බවට පත්වනු ඇති. ඒ වෙනුවෙන් කාර්ය මණ්ඩලයද කැපවී කටයුතු කරනු ඇති බව මා විශ්වාස කරනවා.

මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුවේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වන බවත් එම නිසා කැබිනට් මණ්ඩලය විසින් උපදෙස් ලබා දුන් පරිදි විශ්‍රාම වැටුප් ඇතුළු අනෙකුත් ගෙවීම් කටයුතු තැපැල් කාර්යාල මගින් සිදු කිරීම වෙනුවට කෙලින්ම ගිණුමට බැර කරන තාක්ෂනික ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ලලිත් ද අල්විස් මහතා, නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ධාවන )පණ්ඩුක ස්වර්ණ හංස මහතා ඇතුළු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, වර්ණ ලාභීන් ඇතුළු ලංකා ගමනා ගමන මණ්ඩලයේ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

@ Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?