Latestවිදේශීය

ගාසා ලේ විලක් කරමින් ඊශ්‍රායලය අමානුෂික ප්‍රහාර තීව්‍ර කරයි

ගාසා තීරයේ සිට ප්‍රහාරක මෙහෙයුම් උත්සන්න කර ඇති ඊශ්‍රායල හමුදා පසුගිය (17) ඉරිදා දිනයේ එහි ඉහළ කොටසේ සිට පහළ කොටස දක්වා ප්‍රබල ප්‍රහාරයක් එල්ල කොට ඇති අතර,

උතුරේ සරණාගත කඳවුරක් සහ දකුණේ රෝහලක් එම ප්‍රහාරවලින් විනාශයට පත්වී තිබේ.

ගාසා තීරයේ උතුරු කොටසේ ජබාලියා සරණාගත කඳවුරට ඊයේ එල්ල වූ ප්‍රහාරයෙන් පලස්තීනුවන් 90 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී ඇති අතර, නිවසකට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් ද එකම පවුලක සාමාජිකයන් 24 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

හමාස් සංවිධානයට සහාය දක්වන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ ප්‍රකාශකයා වන ඩාවුඩ් ෂෙහාබ්ගේ නිවසටයි මෙම මිසයිල ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

එහිදී ඩාවුඩ් ෂෙහාබ්ගේ පුත්‍රයා ද මිය ගොස් ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය. 

ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයෙන් ඉස්ලාමීය ජිහාඩ් ප්‍රකාශක ඩාවුඩ් ෂෙහාබ්ගේ නිවස පමණක් නොවන ඒ ආසන්නයේ ගොඩනැගිලි කිහිපයකට අලාභහානි සිදුව තිබේ.

කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් ඉවත්කොට දිවි ගලවාගත් පුද්ගලයින් සෙවීම නොනවතින ඊශ්‍රායල ප්‍රහාර හමුවේ සිදුකළ නොහැකි බව සහන සේවකයෙකු සඳහන් කර ඇත.

ගාසා තීරය මධ්‍යම කොටසේ ඩෙයිර්-අල්- බලාහ් ප්‍රදේශයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති අතර දකුණේ ඊජිප්තු දේශසීමාව ආසන්නයේ පිහිටි රෆා නගරයේ නිවසකට එල්ල වූ ප්‍රහාරයෙන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

ප්‍රහාරයෙන් කඩාවැටුණු නිවසේ සුන්බුන්වලට යටවූ පුද්ගලයින් සෙවීමට ජනයා එක්රැස්වී ඇති අතර ඔවුන් අතරින් අයෙකු රොයිටර්ස් වෙත පවසා ඇත්තේ, එහිදී ඇති වූ පිපිරීමේ ශබ්දය භූමිකම්පාවක් තරම් ප්‍රබල බවය.

ඊශ්‍රායල රජය පවසන්නේ තමන් සන්නද්ධ සාමාජිකයන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන අතර සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම කිරීමට පියවර ගෙන ඇති බවය. 

දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් නගරයේ ඊශ්‍රායල යුද ගුවන්යානාවලින් එල්ලවන ප්‍රහාර, යුද ටැංකි වෙඩි හඬ මෙන්ම හමාස් සංවිධානය එල්ල කරන රොකට් ප්‍රොපල් ග්‍රෙනේඩ් හඬ ද අසන්නට ලැබුණු බව එහි පලස්තීන වැසියන් පවසයි.

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ ඛාන් යූනිස් නගරයට එල්ල කළ ප්‍රහාරවලින් හමාස් සටන්කාමීන් 7 දෙනෙකු මිය ගිය අතර රොකට් නිෂ්පාදනය කරන උපාංග සහ හමාස් උමං පිවිසුම් 03ක් පලස්තීනුවන් රැකවරණ ලබන පාසලක් අසලින් සොයාගත් බවය. 

ඛාන් යූනිස් නගරයේ පිහිටි නසීර් රෝහලේ මාතෘ සායන ගොඩනැගිල්ලට ද ප්‍රහාරයෙන් හානි සිදුව ඇති අතර එහිදී 13 හැවිරිදි දැරියක් ද මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඛාන් යූනිස් නගරයට මීට පෙර එල්ල වූ ප්‍රහාරවලදී ඇගේ පියා, මව සහ සහෝදර සහෝදරියන් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර, ඇයට ද පාදයක් අහිමි වී තිබූ බව සඳහන්ය. 

ගාසා සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරන පරිදි මේ වනවිට ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් සංඛ්‍යාව 19,000 ඉක්මවයි.

පසුගිය ඔක්තෝබර් 27 වනදා ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම් දියත් කිරීමෙන් පසු ඊශ්‍රායල හමුදා සාමාජිකයන් 121 දෙනෙකු සටන්වලින් ජීවිතක්ෂයට පත්වූ බව ඊශ්‍රායලය ප්‍රකාශ කරයි.

මේ අතර ඊශ්‍රායල ප්‍රහාර ආරම්භවීමට පෙර ගාසා තීරයේ විශාලතම රෝහල ලෙස ක්‍රියාත්මක වූ ගාසා නගරයේ අල් ෂිෆා රෝහල ලේ විලක් නැත්නම් බ්ලඩ්බාත් (bloodbath)ලෙස හැඳින්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.

රෝහලට අවශ්‍ය ඖෂධ වෛද්‍ය උපකරණ රැගෙන එහි ගිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසකට දැකගත හැකි වී ඇත්තේ ඛේදනීය තත්ත්වයකි. 

එහි තුවාල ලැබූ පලස්තීනුවන් සිය ගණනක් සිටින අතර සෑම මිනිත්තුවකදීම තවත් තුවාලකරුවන් රැගෙන එන බවත්, තුවාලවලට ප්‍රතිකාර කිරීම රෝහලේ බිමේදීම සිදුකරන අතර ඔවුන්ට වේදනානාශක නොමැතිවම ප්‍රතිකාර ලබාදීමට සිදුව ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයන්ට දැකගත හැකිව තිබේ.

ගාසා තීරය උතුරු ප්‍රදේශයේ රෝහල් 24කින් දැනට ක්‍රියාත්මක වන්නේ 4ක් පමණක් වන අතර, ඒවායේ තත්ත්වය ද කිසිසේත් සතුටුදායක නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය. 

එමෙන්ම ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයේ කමාල් අද්වාන් රෝහල් බුල්ඩෝසර් යොදා බිමට සමතලා කිරීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය තොරතුරු රැස්කරමින් සිටී.

එය හමාස් සංවිධානය විසින් යොදාගන්නා බවට ඊශ්‍රායලය චෝදනා කළත්, හමාස් සංවිධානය ප්‍රකාශ කළේ තමන් එම රෝහල් හෝ අනෙක් රෝහල සන්නද්ධ ක්‍රියාකාරකම් සඳහා යොදාගන්නා බවය. 

අල් ෂිෆා රෝහල සම්බන්ධයෙන් ද ඊශ්‍රායල මීට පෙර මෙවැනි චෝදනා එල්ල කළ නමුත් එය තහවුරු කිරීමේ ප්‍රබල සාක්ෂියක් ඉදිරිපත් කළේ නැහැ. 

ගාසා තීරයේ තවත් සටන් විරාමයක් ක්‍රියාත්මක කොට ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමේ සැලසුමක් පිළිබඳව ද සතිඅන්තයේ අසන්නට ලැබුණි. 

ඒ ඊශ්‍රායල මොසාඩ් ඔත්තු සේවා ප්‍රධානියා කටාර් අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදුන් ඇමතුමක් හේතුවෙනි. 

මීට පෙර ගාසා තීරයේ දින 7ක සටන් විරාමයක් ක්‍රියාත්මක කොට ප්‍රාණ ඇපකරුවන් සියයක් පමණ නිදහස් කරගැනීම සම්බන්ධීකරණය කළේ ද කටාර් රාජ්‍ය ය විසිනි.

තවත් සම්බන්ධීකාරකයෙකු වූ ඊජිප්තුවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ සටන් විරාමයක් හරහා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමේ පියවරකට ඊශ්‍රායලයේ සහ හමාස් සංවිධානයේ කැමැත්තක් ඇති නමුත් එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තවදුරටත් විෂමතා පවතින බවය.

මේ අතර ගාසා තීරයේ පලස්තීනුවන්ට සහනාධාර ප්‍රවේශය ඉහළ නංවන ලෙස ඊශ්‍රායලයට සහ හමාස් සංවිධානයට බලකිරීමේ යෝජනාවක් අද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඡන්ද විමසීමට යොමු කෙරේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධීක්ෂණය යටතේ ගාසා තීරයට ගොඩබිමෙන්, මුදුදෙන් සහ ගුවනින් මානුෂීය ආධාර සැපයීමට අවකාශය ලබාදිය යුතු බවට එම යෝජනාව ඉදිරිපත් කර ඇත.

කෙසේ නමුත් මේ යෝජනාව සම්මත කරගැනීම සඳහා නිෂේධ බලය හිමි ඊශ්‍රායලයේ හිතවතා වන අමෙරිකා එක්සත් ජනපදය මත නැවතත් රඳා පවතින බව විචාරකයන් පෙන්වා දෙයි.

ඊට අමෙරිකානු සහාය ලබාගැනීම සඳහා යෝජනාව සකස් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවල නිරතවන බව ද වාර්තා වේ.

@adaderana

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?