Latestදේශීය

උඳුවප් පෝ දින ඇරඹුණු සිරිපා වන්දනා සමය

2024 වසර සඳහා වන සිරිපා වන්දනා සමය ආරම්භ වුයේ උඳුවප් පොහොයත් සමග ය.

ගෞතම බුදුන්වහන්සේගේ වම් සිරිපා සලකුණ පිහිටි බව සැලකෙන ශ්‍රී පාදස්ථානය වැඳ පුදා ගැනීම සඳහා බෞද්ධ සැදැහැවත්හු මෙන්ම දෙස් විදෙස් වන්දනාකරුවෝ ද එක්වෙති.

1. සිරිපා වාරය සහ අවාරය

උඳුවප් පොහොයෙන් ආරම්භ වන මෙම සිරිපා වන්දනා සමය අවසන් වන්නේ ලබන වසරට යෙදෙන වෙසක් පොහොයත් සමග ය.

සෑම වසරකම සිරිපා වන්දනා වාරය උඳුවප් පොහොයෙන් ආරම්භ කෙරෙන්නේ සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව පැල්මඬුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරයේ සිට සිරිපා මළුව තෙක් වැඩම කරවීමෙන් අනතුරුව ය.

පැල්මඩුල්ල, රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වී නල්ලතන්නිය හරහා උඩමළුව කරා ගමන් කරන පෙරහැර ශ්‍රී ලංකාවේ දිගම පෙරහැර වේ.

එය සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම යන පළාත් තුනකට අයත් රත්නපුර, කොළඹ, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක හතරක් හරහා ගමන් කරනු ලැබේ.

සුමන සමන් දෙවියන් ශ්‍රී පාදස්ථානයේ වැඩවාසය කරන බව සලකා ‘සමන්ත කූට’ යන නමින් ද ශ්‍රී පාදස්ථානය හඳුන්වයි. මීට අමතරව ‘රත්නගිරි’ යන නමින් ද ශ්‍රී පාදස්ථානය හඳුන්වනු ලබයි.

‘ඇඩම්ස් පීක්’ ලෙස ඉංග්‍රීසියෙන් හඳුන්වන ශ්‍රී පාදය බෞද්ධ සැදැහැවතුන්ගේ පමණක් නොව හින්දු හා ඉස්ලාම් බැතිමතුන්ගේ ද පුදබිමකි. ඉස්ලාම් බැතිමතුන් ඔවුන්ගේ දෙවියන් විසින් මෙලොවට මැවූ පළමු පුද්ගලයා වන ආදම්ගේ පාදයේ සටහන එහි ඇති බවට විශ්වාස කරන අතර, හින්දු බැතිමතුන් ශිව දෙවියන්ගේ පාදයේ සටහන එහි ඇති බවට විශ්වාස කරයි.

මැයි මාසයට යෙදෙන වෙසක් පොහොයෙන් පසු නැවතත් දෙසැම්බර් මාසයේ උඳුවප් පොහොය දක්වා වූ කාලය සිරිපා වන්දනාවේ නොයෙදෙන අවාරය ලෙස හැඳින්වේ.

සිරිපා සමය අවසන් කෙරෙන්නේ සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව ශ්‍රී පාදස්ථානයේ වූ සලපතල මළුවේ සිට පැල්මඬුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරය දක්වා නැවත වැඩම කරවීමෙන් අනතුරුව ය.

02. සිරිපා වන්දනාවේ යෙදෙන මාර්ග මොනවා ද?

සිරිපා වන්දනාව සඳහා මාර්ග සයක් පමණ ඇති නමුත් බොහෝ දෙනා ප්‍රධාන ප්‍රවේශ මාර්ග තුනක් ඔස්සේ වන්දනාවේ යෙදෙති.

හැටන් – නල්ලතන්නිය මාර්ගය
රත්නපුර – පලාබද්දල මාර්ගය
කුරුවිට – එරත්න මාර්ගය

දැනට වැඩි පිරිසක් සිරිපා වන්දනාවේ යෙදෙන්නේ හැටන්-නල්ලතන්නිය මාර්ගය ඔස්සේ ය. ගමන් මාර්ගය පහසුවීම හා කෙටි වීම ඊට හේතුව යි.

තවත් පිරිස් පැරණි මාර්ග ඔස්සේ සොබා අසිරිය විඳ ගනිමින් සිරිපා කරුණාවේ යෙදීමට උත්සුක වේ.

හැටන් හරහා පැමිණෙන වන්දනාකරුවන්ට හැටන් නගරය හරහා නල්ලතන්නිය වෙත පැමිණ සිරිපා කරුණාව ආරම්භ කළ හැකි ය.

රත්නපුර මාර්ගයේ ගමන් ගන්නා සැදැහැවතුන්ට රත්නපුරයට පැමිණ, පලාබද්දල මාර්ගයේ පලාබද්දල වෙත පැමිණ සිරිපා කරුණාව ආරම්භ කළ හැකි ය.

කුරුවිට මාර්ගයේ ගමන් ගන්නා වන්දනාකාරුවෝ කුරුවිට එරත්න ඔස්සේ සිරිපා වන්දනාව අරඹති.

සිරිපා වන්දනාව දුෂ්කර කටයුත්තකි. ඒ සදහා පියගැටපෙල දහස් ගණනක් නැඟිය යුතු අතර සිරිපා උඩමළුව වෙත ළඟා වීමට පැය කිහිපයක් ගත වේ.

03. සිරිපා වන්දනාව හා බැඳුණු වත්පිළිවෙත් මොනවා ද?

සිරිපා වන්දනාව හා බැඳුණු සාම්ප්‍රදායික වත්පිළිවෙත් පවතියි.

සිරිපා කරුණා කරන අතරතුර සැදැහැවත්හු තුන්සරණේ කවි හා විවිධ ජන කවි ගායනා කරති. පළමුවර වන්දනාකරු ‘කෝඩුකාරයා’ ලෙස හඳුන්වන අතර ඔහු ‘සීත ගඟුල’ යනුවෙන් හඳුන්වන දොළපහරෙන් ස්නානය කළ යුතු ය.

එමෙන්ම බොහෝ වන්දනාකරුවෝ ‘ඉඳිකටු පාන’ යන නමින් හදුන්වන ස්ථානයේ දී ඉඳිකටු හා නූල් දවටා යති.

සිරිපා කරුණාවේ යෙදෙන පිරිස් ඔවුන්ගේ විඩාව නිවා ගැනීම සඳහා අග්ගලා වැනි සාම්ප්‍රදායික ආහාර මෙන්ම කොත්තමල්ලි, රණවරා ආදී පාන ද රැගෙන යාමට උත්සුක වන්නේ පැරැන්නන් ද එවැනි ආහාර පාන රැගෙන ගිය බවට ජනප්‍රවාදයේ සඳහන් වන නිසා ය.

සිරිපා වන්දනා කිරීමට යන සැදැහැවතුන් පසු කළ යුතු ස්ථාන කිහිපයකි. ඒ, මකර තොරණ, ලිහිණි හෙල, කටුකිතුල වංගුව, ධර්මරාජ ගල, සීත ගඟුල, ගෙත්තම්පාන, හැරමිටි පාන, අහස්ගව්ව, මහගිරි දඹය, සිරිපා මළුව හා සිරිපා පද්මය හා‍ දොළොස් මහේ පහන ආදිය යි.

සිරිපා උඩ මළුවට පැමිණි පසු තමන් ශ්‍රී පාදස්ථානය වන්දනාකර ඇති වාර ගණන අනුව වන්දනාකරුවෝ එහි ඇති ඝණ්ටාරය නාද කරති.

04. සිරිපා වන්දනාවේ දී භාවිතා කෙරෙන විශේෂ යෙදුම්

සිරිපා කරුණා කිරීමේ දී ‘කට ප්‍රවේශම්කර ගන්නැ’ යි පැරැන්නෝ නිරතුරුවම කියා ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වී තිබේ.

කටමැත දෙඩවීම හෝ පුරසාරම් කියූ පුද්ගලයින්ට සිරිපාදය කරුණා කිරීමට ඉඩ නොලැබුණු පුවත් සහ එවැනි පුද්ගලයින්ට විවිධ අනතුරුවලට මුහුණ දෙන්නට සිදුවීයැ යි පැරන්නනන් පැවසූ බව සිරිපා අඩවියේ වැඩිහිටියෝ පවසති.

සිරිපා වන්දනාවේ යෙදෙන විට ආදි කාලයේ සිට භාවිත කළ ඇතැම් වචන තවමත් අපේ බස් වහරේ අඩංගු වේ.

එලෙස භාවිතා කරන වචන කිහිපයක් සහ ඒවායේ තේරුම් පහත දැක්වේ.

කරුණාව යි – සිරිපා වන්දනාවේ දී තම නඩයේ සේම වෙනත් නඩයක පිරිස සමග ඔවුනොවුන් හමුවන අවස්ථාවන්හි දී ආශිර්වාද කරගන්නේ ‘කරුණාව යි’ කියමිනි. මෙමඟින් ගමනේ විඩාව නිවෙන බවට විශ්වස කෙරෙයි

නඩේ ගුරා – ඈත අතීතයේ පටන් දුෂ්කර වූ සිරිපා කරුණාවේ දී නඩයක් එකතුකර ගන්නා පුද්ගලයා ‘නඩේ ගුරා’ ලෙස හඳුන්වයි. වන්දනාවේ යන කණ්ඩායම ‘නඩය’ ලෙස හඳුන්වන අතර නඩේ ගුරා විසින් නිසි පිළිවෙත් ඉටු කරමින්, නඩයට නායකත්වය ලබා දෙමින් සිරිපා කරුණාව සිදුකරනු ලබයි.

සංහිඳේ – සිරිපා කරුණාවේ දී මඟ අවහිර වන විට දී ඉතා සුහදශීලී ලෙස තවත් අයෙකුගෙන් ඉඩ ඉල්ලන්නේ ‘සංහිඳේ’ ලෙස අමතමිනි.

“දෙන්න අපට සංහිඳේ…

දුන්න අයට පිං පිරේ…”

කෝඩුකාරයා – පළමුවරට සිරිපා කරුණා කරන අය හඳුන්වන්නේ ‘කෝඩුකාරයා’ ලෙසිනි. කෝඩුසිරිපා කරුණාව වලංගු වන්නේ සිරිපා වාරයේ කරුණා කිරීමෙන් පමණි.

කිරි කෝඩු – ප්‍රථම වරට සිරිපා වන්දනා ගමනට එක්වන කුඩා දරුවෙකු හෝ දැරියක හඳුන්වනු ලබන්නේ ‘කිරි කෝඩු’ ලෙසිනි.

දඬු කෝඩු – ප්‍රථම වරට සිරිපා වන්දනා ගමනට එකතුවන වැඩිහිටියෙකු හඳුන්වන්නේ ‘දඬුකෝඩු’ ලෙස යි.

පේ වීම – වන්දනාකරුවන් සිරිපතුල වඳින්නට පෙර පිරිසිදු වීම ‘පේ වීම’ ලෙස හැඳින්වේ. හිසේ දෙහි කැබැල්ලක් ගා, සීත ගඟුලෙන් නා, සුදු පිරුවටයක් ඇඳිය යුතු ය. එලෙසම මස්මාංශ අනුභව නොකර පෙර සිටම මෙම ගමනට සූදනම් විය යුතු ය.

ඉර සේවය – හිමිදිරි පාන්දර නැගෙනහිරින් හිරු උදාවීම සිරිපා උඩ මළුවේ දී හඳුන්වන්නේ ‘ඉර සේවය’ ලෙසිනි. මෙම ස්වභාවික සිදුවීමේ දී සිරිපා කන්දේ සෙවනැල්ල ත්‍රිකෝණාකාරව බටහිර ප්‍රදේශයට පතිත වෙයි.

සිරිපා කරුණාව ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

දෙසැම්බර් 26න් ඇරඹෙන සිරිපා වන්දනා සමය 2024 වසරේ මැයි මස 24 වෙනි දින දක්වා පවත්වන බව රත්නපුරේ දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න පවසයි.

රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව සඳහන් කර සිටින්නේ සිරිපා වන්දනා සමය පිළිබඳව නියෝග ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි.

05. වන්දනාකරුවන්ට පනවා ඇති රෙගුලාසි

සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන්, වෙළඳාම්කරුවන් සහ සේවා සැපයීමට සූදානම් වන පිරිස් විසින් අනුගමනය කළ යුතු රෙගුලාසි ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත්කර තිබේ.

i. නවාතැන් ගැනීම

එහි පළමු රෙගුලාසිය ලෙස සිරිපා අඩවියේ තාවකාලික නවාතැන් සකස් කිරීම හෝ පවත්වාගෙන යෑම සිදු නොකළ යුතු ය.

නවාතැන්පොළවල් ලෙස භාවිත කළ යුත්තේ ලිහිණිපොළ, පලාබද්දල විහාරස්ථානය, හැරමිටිපාන, ආඬියාමලතැන්න, වර්ණගල, සීතගගුල, මැදහින්න, ඉඳිකටුපාන යන විශ්‍රාමශාලා සහ අම්බලම් බව එම ගැසට් නිවේදනයේ සඳහන් ය.

ii. ගොඩනැගිලි ඉදිකිරීම

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ හෝ බලයලත් නිලධාරියෙකුගේ අවසරයකින් තොරව සිරිපා වන්දනා සමය තුළ දී එම භුමි ප්‍රදේශයේ ස්ථිර, තාවකාලික ගොඩනැගිල්ලක් හෝ නවාතැන්පොළවල් ඉදිකිරිම තහනම් කර තිබේ.

iii. යාචකයින්

සිරිපා මළුව හෝ අම්බලම් ආශ්‍රිතව සිඟමන් ඉල්ලීම හෝ සිඟමන් ලබාදීම හෝ බෙදාදීම් තහනම්කොට ඇත.

iv. නෑම සහ සේදීම

වන්දනාකරුවන් දියනෑම හෝ රෙදි සේදීම සඳහා භාවිතා කළ යුත්තේ දැනටමත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ පළාත් පාලන ආයතන විසින් නම්කර ඇති ආරක්‍ෂිත ස්ථානවල පමණක් ලෙස දැනුම් දී තිබේ.

පෞද්ගලික ආයතන විසින් වන්දනාකරුවන්ගේ පහසුව පිණිස දියනෑමට හෝ රෙදි සේදීම සඳහා පහසුකම් සැපයීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ පළාත් පාලන ආයතනවලින් ලිඛිත අවසරයන් ලබාගත යුතු වේ.

v. වාහන සහ ගමන් මාර්ග

ප්‍රාදේශීය සභාව හෝ අදාළ පළාත් පාලන ආයතන විසින් වෙන්කර ඇති ස්ථානවල හැර අනෙකුත් ස්ථානවල වාහන නැවැත්වීම සපුරා තහනම් කර තිබේ.

වන්දනා සඳහා වෙන්කර තිබෙන ප්‍රධාන මාවත් වන්නේ රජමාවත (පලාබද්දල මාර්ගය), හැටන් නල්ලතන්නි මාර්ගය හා කුරුවිට එරන්ත මාර්ගය බව දැනුම් දී සිටියි.

vi. පරිසරය හා සනීපාරක්ෂාව

වන්දනාකරුවන් විසින් ශ්‍රී පාදස්ථාන මළුව, වන්දනා මාර්ගය හෝ විශ්‍රාම ශාලාවන් හා ඒ අවට පරිසරයට පොලිතීන්, ප්ලාස්ටික් අවිධිමත් ලෙස බැහැර නොකිරීමට වගබලා ගන්නා ලෙස දැනුම් දී ඇත.

ශ්‍රී පාද අඩවිය තුළ ගින්නක් ඇතිවන ආකාරයේ ගිනි මැල හෝ ගිනි දැල්වීම සිදුනොකළ යුතු ය.

එමෙන්ම වන්දනා කාලය තුළ දී අපද්‍රව්‍ය බැහැර කිරීම සහ වන්දනා මාර්ගයේ වූ අත්වැට විෂබීජහරණයට ලක්‌ කිරීමේ වගකීම පළාත් පාලන ආයතන වෙත පවරා ඇත.

vii. වෛද්‍ය පහසුකම්

පෞද්ගලික ආයතන විසින් පැවැත්වීමට අදහස් කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ සහ පළාත් පාලන ආයතනවල නිසි අනුමැතිය ලබාගත යුතුවේ.

viii. වෙළෙඳාම සහ දන්සැල්

සිරිපා මළුව, විශ්‍රාම ශාලා පිහිටි ප්‍රදේශ මෙන්ම වන්දනා මාර්ගයේ සංචාරක වෙළඳාම තහනම් කර තිබේ.

දිස්ත්‍රික් ලේකම්වරයා හෝ වෙනත් බලයලත් නිලධාරියෙකු විසින් ලබාදී ඇති අවසරය ඇති ස්ථානවල හැර වෙනත් කිසිදු ස්ථානයක පූජා භාණ්ඩ, පූජා වට්ටි, ආහාර ද්‍රව්‍ය විකිණීම තහනම් වේ.

එමෙන්ම මත්පැන්, දුම්වැටි හෝ මත්ද්‍රව්‍ය විකිණීම, වෙළඳසල්වල තබාගැනීම හෝ වන්දනා මාර්ගයේ රැගෙන යාම තහනම් කර තිබේ.

සෑම වෙළඳසැලක සහ ගොඩනැගිල්ලක කසල බඳුනක් තැබීම අනිවාර්ය කර ඇත.

දන්සැල් ලබාදීමට නම් පවතින සෞඛ්‍ය තත්ත්වයන්ට අනුව දිස්ත්‍රික් ලේකම්වරයාගේ හෝ බලයලත් නිලධාරියෙකුගේ පූර්ව අවසරයක් මත පමණක් සිදුකළ යුතුවේ.

ix. වසංගත තත්ත්වයන්

රට තුළ පවතින සෞඛ්‍ය තත්ත්වයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සිරිපා වන්දනා කටයුතුවල නියැලීම සිදුකළ යුතුවේ.

ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන පිරිස් ශ්‍රී පාද මළුව තුළ නවාතැන් නොගෙන වන්දනාකොට නික්ම යා යුතු බවට අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වේ.

06. ශ්‍රී පාද අඩවියේ පරිසර විද්‍යාත්මක වැදගත්කම

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි ශ්‍රීපාදය ආශ්‍රිත නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, ‍ලෝක උරුමයක් ‍ලෙස නම්‍‍‍කොට ඇති වනයකි.

රක්ෂිතය අවේනික ශාක විශේෂ මෙන්ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන්, සහ ක්ෂීරපායීන් ඇතුළු සුවිශේෂී, දුර්ලභ ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.

ශ්‍රී පාද අඩවියට පරිසර විද්‍යාත්මක වශයෙන් ද ඉතා ඉහළ වටිනාකමක් ලැබේ.

ශ්‍රී ලංකාවේ උරගයන් සහ උභයජීවීන්ගේ වැඩිම විවිධත්වය සහිත පරිසර පද්ධතිය ශ්‍රී පාද අඩවිය යි. එමෙන්ම ශ්‍රී ලංකාවට අවේණික කුරුලු විශේෂ සියල්ලම වාර්තා වන එකම පරිසර පද්ධතිය ද මෙය වේ.

මෙය පහතරට තෙත් කලාපීය වනාන්තර සිට වළාකුළු වනාන්තර දක්වා අඛණ්ඩ වන වැස්මක් දක්නට ලැබෙන පරිසර පද්ධතියක් වීම තවත් විශේෂත්වයකි.

කළු සහ කැළණි යන ප්‍රධාන ගංගා දෙක සමනල අඩවියෙන් ආරම්භ වේ.

ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපය තුළ විශාලම අලි ගහනය සමනල අඩවිය තුළ ජීවත් වේ. එමෙන්ම තවමත් සොයා නොගත් ජීව විශේෂ සමනල අඩවිය තුළ වෙසෙනබවට පර්යේෂකයෝ විශ්වාසය පළ කරති.

07. ගෙන යන දේ නැවත ගෙන එන්න

සිරිපා කරුණා කරන ඇතැමුන්ගේ නොමනා ක්‍රියා කලාපය නිසා අද වන විට පොලිතින් වැනි නොදිරන අපද්‍රව්‍ය ටොන් ගණනින් තැන තැන එකතු වී, මේ සුවිශේෂී පාරසරික පද්ධතිය විනාශයට ලක්වන අයුරු ශ්‍රී පාද වන්දනා සමයේ දී දැකගත හැකි බව පරිසරවේදීන් පවසයි.

පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කිරීමට මස්කෙළිය ප්‍රාදේශීය සභා සේවකයින්, මධ්‍යම පරිසර අධිකාරිය, ආරක්ෂක අංශ, ස්වෙච්ඡා සේවකයින් මෙන්ම ඇතැම් තරුණ තරුණියන් ඉටු කරනා මෙහෙය බෙහෙවින් අගය කළ යුතු බවට ඔවුන් පවසයි.

බීබීසී සිංහල

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?