Latestදේශීය

අසත්‍ය මඩ ප්‍රචාරවලට පිළිතුරු – චම්පික රණවක

තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයක පොදු අපේක්ෂකයා ලෙස සිදු කෙරෙන මාධ්‍ය ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

අද ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා;

“මේ දිනවල විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල, ගොසිප් තීරුවල වගේම ප්‍රධාන මාධ්‍යවලත් යම් යම් වැරදි අදහස් අප පිළිබඳව ප් රචාරය වෙමින් පවතිනවා. සරලවම කිව්වොත් මෙයින් කියවෙන්නේ නිදහස ජනතා සභාවේ ඇතැම් පිරිස් වලට පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෝ වෙනත් තැනකදී මවිසින් ප්‍රකාශ කළාය කියලා රනිල් වික්‍රමසිංහ මහතාගේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහින්ද රාජපක්ෂවරුන්ගේ අනුග්‍රාහකත්වයෙන් ඉදිරි ජනාධිපතිවරණයට මම පොදු අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙන බව. මෙය සම්පූර්ණ අසත්‍යයක්. අපේ දේශපාලන භාවිතාව ගැන හොඳින් දන්නා මේ රටේ සමාජය කිසිසේත්ම මේ විශ්වාස නොකරන බව මම දන්නවා. නමුත් මේ හරහා අනාගතයේ තවත් කෙටිකතා, කතන්දර, මඩ ප්‍රහාර ගොඩාක් ගොඩ නැගෙන නිසා ආරම්භයේදීම ඒ තත්ත්වය සමහන් කර ගැනීම සඳහා තමයි මේ ප්‍රකාශය මම කරන්නේ.

“අපි 2014 දි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මේ පෙන්වපු මායාකාරී සංවර්ධනයේ ප්‍රතිඵලයක් හැටියට ගත්ත කෙටිකාලීන අධික පොලී ණය නිසා රට බංකොලොත් වෙන බව ප්‍රථම වතාවට දේශපාලඥයෙක් හැටියට ප්‍රකාශ කළේ මමයි. ප්‍රකාශ කළා විතරක් නෙමෙයි ලිඛිතව අපි සටහන් කළා විතරක් නෙවෙයි. ඒ අවස්ථාවේදී අපිට ඇතැම් අය දෝෂාරෝපණය කළත් අද ඔප්පු වෙලා තියෙනවා මේ රටේ ජනතාව ඉදිරියේ පසුගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ දොළොස් වෙනිදාත්, ඊළඟට මේ රටේ මහජනයා විසින් කරන ලද ඒ, නිරාවුධ, සෘජු අරගලයේ ප්‍රතිඵලයක් හැටියටත්, ඒ වගේම, මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව හැටියටත්, මේ රට බංකොලොත් වීමට මහින්ද, ගෝඨාභය හා බැසිල් රාජපක්ෂ සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව. ඉතින් එවැනි පිරිසක් එක්ක දේශපාලන සම්බන්ධතාවයක් අපිට නැහැ.අපි බොහොම ආරාධනා කරන්නේ, මහින්ද රාජපක්ෂ මහත්තයාට, දැන්වත් දේශපාලනයෙන් විශ්‍රාම යන්න. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රාජපක්ෂවරු නොවන නායකත්වයකට පත් කර ගන්න කියලා.”

“රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්ක අපිට පලවෙනි දේශපාලන ප්‍රශ්නය, පසුගිය මහා මැතිවරණයේදී ආවා. එතුමාගේ නායකත්වයෙන් මැතිවරණයට යන්න අපි සූදානම් වුණේ නෑ. ඒ නිසා තමයි අපි යම් සන්ධානයක් ඇති කරගෙන, අවබෝධතා ගිවිසුම් ඇති කරගෙන, සමගි ජන බලවේගය හරහා, ඒ මැතිවරණයට ඉදිරිපත් වුණේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයාත්, අපිත් අතර දේශපාලන සබඳතාවයක් කිසිසේත්ම නැහැ වගේම අද එතුමා කියන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන න්‍යාය පත්‍රය රැගෙන යන ප්‍රධානිය, නායකයා හා ඔහුගේ මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නමින් ඔහු සිදුකරගෙන යන ක්‍රියාවලියේ ජනතාවගේ පැත්තෙන්, ඒ වගේම මහජනයාට බර තබන, ධන කුවේරයින් ආරක්ෂා කරන, ඒ වගේම දූෂණයට වැට නොබඳින, එයට තවදුරටත් ඉඩහසර ලබාදෙන, තත්ත්වයන් එක්ක එතුමා සමඟ අපේ දේශපාලන සන්ධානයක් ඇත්තෙත් නෑ.”

“සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සහ ඒවායේ තියෙන සංවිධාන ව්‍යුහයන්, පුද්ගලයින් අපි ප්‍රතික්ෂේප නොකළත් අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ, පසුගිය වසරේ කිසිම දේශපාලන පක්ෂයකට කල නොහැකි වූ, ලක්ෂ තුනක හමුදාවක් වටකරගෙන හැටනම ලක්ෂෙක ජනවරමක් තමන්ට තියෙනවයි කියලා හිතාගෙන ජනාධිපති වරමක් ලබාගෙන හැබැයි රජ කෙනෙක් විදිහට අධිරාජයෙක් විදිහට කටයුතු කරපු පවුලක් නායකයෙක් සෘජු ක්‍රියාමාර්ගයකින්, ගල් කැටයක් වත් අතේ නැතුව පලවා හැරපු ජනතාව ගැනයි අපි විශ්වාසය තියන්නේ.”

“මේ රටේ තාත්තලා, බාප්පලා, අම්මලා විකුණලා බලයට ඒම වෙනුවට පවුල් වාදයට, පවුල් කාමයට, ගෝත්‍රවාදයට එරෙහිව මේ රටේ කුසලතා පූර්ණ පරපුර බල ගැන්වීමටයි අපගේ පක්ෂය සංවිධානය වෙන්නේ. ඒ වගේම ඉතාම අයථා ක්‍රමයට, ධන උත්පාදනය කරගෙන, ඒ ධනයෙන් මාධ්‍ය මිලදී ගෙන තමන්ට මේ රටේ දේශපාලන බලය පවත්වාගෙන ගත හැකියි කියලා හිතන අතලොස්සක් ඉන්නවා. ඒ අතලොස්සටත් එරෙහිව අර කුසලතා පූර්ණ පරපුර මේ රටේ බලය ලබා ගත යුතුයි කියන මත තමයි අපි ඉන්නේ.”

“පැරණි මතවාද, පැරණි ජයවර්ධන මතවාද, ප්‍රේමදාස මතවාද, සමාජවාදය නමින් 70-77 අත්හදා බලපු දේවල්. කියුබාව වැනි අත්හදාබැලීම් රාජ්‍යයන් යෝජනා කරන මේ පැරණි මතවාද වලට රැහැනිව ලෝකය ඉදිරියට ගෙනියන්න පුළුවන් සුහුරු රටක් ගොඩනගා ගැනීමට පුළුවන් සුහුරු ජනතාවක් ගොඩ නගන අලුත් වැඩපිළිවෙලක් පිළිබඳවයි අපි විශ්වාස කරන්නේ.”

“ඒක අපි මේ ලබන වසරේ ඉදිරිපත් කරනවා. ඒ ගැන අපිට පූර්ණ විශ්වාසයක් තියෙනවා. මොකද අපි කරපු අමාත්‍යාංශ එකක්වත් බංකොලොත් කරේ නෑ වගේම ආර්ථික අතින් ඒවා ඉතාමත්ම ශක්තිමත් ආයතන බවට පත් කළා. ඒ නිසා අපි මේ කියන්නේ සමහර අය කතා කරනවා වගේ මේ තෙල් බෙහෙත් විකුණනවා වගේ පොළවල් වල කථික කතන්දර නෙමෙයි මේවා. ප්‍රායෝගිකව මේ රට ඇතුළේ තෙල් මිල අඩු කරපු විදුලි බිල අඩු කරපු, රාජ්‍ය ආයතන ගොඩනගපු, දැවැන්ත ව්‍යාපෘති කරලා මේ රටේ ජනතාවට කිසිඳු ආකාරයේ හානියක් නොවන ප්‍රතිලාභ ලබාදීපු, තවත් දැවැන්ත ව්‍යාපෘති කර තබන්න පුළුවන් විදිහේ කණ්ඩායමක් මේ රට ඇතුලේ හදපු, සමාජ ව්‍යාපාරයක් හැටියටයි අපි ඊළඟ ජනාධිපතිවරණයට අවශ්‍ය කරන ශක්තිය, ජවය ලබා දෙන්නේ. ඒ නිසා මේ අසවලා ඉදිරිපත් වෙනවා කියලා එකක් නැහැ. පරපුරක් ජයග්‍රහණය කිරීම සඳහා පරපුරක් එම ජනාධිපතිවරණයට අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.”

ප්‍රශ්නය:
සියදිවි නසා ගැනීම: ඔබ කොහොමද මේක දකින්නේ?
පිළිතුර:
මේක ඇත්තටම මේ සමාජ අර්බුදයේම ප්‍රකාශයක්. ජනතාවට තමන්ගේ ඇස් ඉදිරිපිට ව්‍යාපාර කඩා වැටෙනවා. තමන්ගේ ඇස් ඉදිරිපිට ආදායම් අහිමි වෙනවා. තමන්ගේ දරුවන්ගේ අනාගතය පිළිබඳ ලොකු අවිනිශ්චිත භාවයක් ඇති වෙලා තියෙනවා. මේ නිසා ජනතාව සියදිවි නසා ගැනීම් වලට පෙළඹෙනවා. ඒ වගේම අපචාර, දරුවන් දූෂණය වැනි අපචාර පැත්තට යොමු වෙනවා. ඉතින් මේ ආර්ථික අර්බුදයෙන් ප්‍රකාශයක්. ඉතින් ජනතාවට බලාපොරොත්තුවක් නැති බව තමයි මේකෙන් පේන්නේ. ඉතින් ඒ බලාපොරොත්තුව ඇති කිරීම තමයි අපේ පරමාර්ථය වෙන්නේ. මොකද මේ පාලක කණ්ඩායමට මේ ආණ්ඩුවට ඒ බලාපොරොත්තුව ජනතාවට ලබාදෙන්න බැරි බව දැන් ඔප්පු වෙලා ඉවරයි.

ප්‍රශ්නය:
මේ වෙද්දි විදුලිබල අමාත්‍යාංශය ලාභ ලබනවා. හැබැයි දැන් කඩලා ඒක විකුණන්න යන කොට වෙනත් සමාගමකට. ඔබතුමා කොහොමද මේක කරන්නේ?
පිළිතුර:
බොහොම පැහැදිලිව මෙහි වගකීම මහජන උපයෝගීතා කොමිසම භාරගත යුතුයි. මොකද උපයෝගීතා කොමිසමට අපි පසුගිය සැප්තැම්බර් මාසේ කිව්වා ලංකා විදුලිබල මණ්ඩලය අනිවාර්යෙන්ම ලාභ ලබනවා. ගාස්තු වැඩි කරන්න එපා කලබලේ ජනවාරි වෙනකන් ඉන්න කියලා. නමුත් සීයට දහ අටකින් මහජන උපයෝගීතා කොමිසම ගාස්තු වැඩි කළා. ඒ නිසා අද මේ ලංකා විදුලිබල මණ්ඩලය මේ මාස කීපයේදී ලබා ගත්ත බිලියන 60කට (කෝටි 6000කට) අධික ආදායම ඒ ආදායම මේ රටේ ජනතාවට අයිතියි. ඒකට සම්පූර්ණයෙන්ම විදුලිබල මණ්ඩලයටත් වඩා වගකියන්න ඕනේ මහජන උපයෝගීතා කොමිසම ඔවුන් පත් කරලා ඉන්නේ පාරිභෝගිකයාගේ අයිතිය ආරක්ෂා කරන්න. අපි ලබා දීපු විද්‍යාත්මක දත්ත කිසිදු සැලකිල්ලකට ගන්නේ නැතුව ඒ කටයුත්ත කරලා තියෙනවා. ඒ වගේම විදුලිබල පනත අලුතෙන් ගැසට් කරනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ ගැසට් කිරීමෙන් පස්සේ අපි ඒක ගැන අපේ විවෘත අදහස් දැක්වීමක් කරන්න ඕනේ. හැබැයි අපි එකක් කියනවා. ඔය ආයතන පුද්ගලික අංශයට දුන්නම ලාභෙට විදුලියවත්, ලාභෙට තෙල්වත්, ලාභෙට දුරකථන ඇමතුම්වත්, ලැබෙන්නේ නැහැ, ලාබෙට ගෑස් ලැබෙන්නේ නෑ. රාජ්‍ය අංශයේ ප්‍රතිව්‍යුහගතකරණයක් අවශ්‍යයි. ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණය කරන්නේ කොහොමද කියන එක ගැන කාටහරි ඉගෙන ගන්න ඕන නම් ඒකට අපි කරපු අමාත්‍යාංශවල, රාජ්‍ය ආයතනවල කරපු පෙරළිය බලන්න කියලා මම ඉල්ලා හිටිනවා.

ප්‍රශ්නය:
දැන් ඔබත් යම්කිසි දේශපාලන ස්ථාවරත්වයක් හදාගෙනනේ යන්නේ. යම්කිසි තැනකට එන්න, රටේ දේශපාලන ස්ථාවරයක් හදාගන්න හදන්නේ. ඔය කතාවත් එක්ක ඔබ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිම සාමාජිකයෙක් එක්කවත්, ඔය කියන යූ. එන්. පී. එකේ කිසිම සාමාජිකයෙක් එක්කවත්, එහෙම නැත්නම් සජබෙ සාමාජිකයෙක් එක්කවත් ගමනක් යන්න සූදානම් නැද්ද?

පිළිතුර:
අනිවාර්යයෙන්ම සූදානම්. පැහැදිලිව කියන්න ඕනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජපක්ෂවරු නොවන ඉතාම වැදගත් පිරිසක් ඉන්නවා. ඒ පිරිසත් එක්ක අපි අනිවාර්යෙන්ම ගනුදෙනු කරනවා. එක්සත් ජාතික පක්ෂයේත් ඉන්නවා හොඳ පිරිස්. සමගි ජන බලවේගෙත් ඉන්නවා. අනිත් දේශපාලන පක්ෂ වලත් ඉන්නවා. මේ 225 ම හොරු කියන මතය එක්ක අපි නෑ. මේ රටේ ඇත්ත වශයෙන්ම හොරු වර්ග තුනක් ඉන්නවා. එකක් දේශපාලනඥයෝ ඇතැම් අය, ඇතැම් අය නිලධාරීන්, ඇතැම් අය ව්‍යාපාරිකයො. ජාවාරම්කාර ව්‍යාපාරිකයො. ඉතින් ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ ඉන්න වෘත්තීය ගරුත්වයක් සහිත පිරිස් එක්ක පක්ෂ භේදයෙන් තොරව කටයුතු කරන්න ස්වාධීන මන්ත්‍රීවරයෙක් හැටියට මම කටයුතු කරලා තියෙනවා. මම කියන්න සතුටුයි මම මූලිකත්වය දරන, සභාපතිත්වය දරන අපේ කමිටු වල කිසිම පක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුවේ අපේ මන්ත්‍රීතුමන්ලා කටයුතු කරගෙන යනවා. අනිවාර්යෙන්ම අපි දේශපාලන සන්ධානයක් පාර්ලිමේන්තුවත් ඉන් පිටතත් ගොඩනගනවා. මේ පවුල් බලයටයි, ජාවාරම්කාර සල්ලි වලින් ඡන්ද දිනන්න එන මේ වසල දේශපාලන ව්‍යාපෘතියට විරුද්ධව.

ප්‍රශ්නය:
කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සිදුවීමත් එක්ක ඔබ යම්කිසි තීන්දු තීරණ ගන්න තැනක හිටියනම් කුමක් වෙයිද? දැන් ජනාධිපතිවරයා නිකන් හරියට ක්‍රියාත්මක වෙනවාය කියන, දැන් හරියට වැඩේ වෙනවා කියන කතාවකුත් කියනවනේ. ඔබ මොකක්ද කියන්නේ? මොකක්ද මේ අවස්ථාවේ කළ යුතුව තිබුණේ?

පිළිතුර:
ඇත්තටම මේ ගැන මුලින්ම අනතුරු ඇඟවීම කළේ අපේ පක්ෂයේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහත්මයා. එතුමා තමයි මේ රුධිර සාම්පල පිළිබඳ මේ භයානක තත්ත්වය මුලින්ම හෙළිදරව් කළේ. එන් එම් ආර් ඒ පනතට අනුව අවුරුදු තුනක සිර දඬුවමක් නියම වෙන්න ඕනේ. මේකෙන් ජීවිත හානි වුණා නම් ඒක අපරාධ නීතිය යටතේ කටයුතු කරන්න ඕනේ. මං හිතන්නේ ඒ සම්බන්ධයෙන් දැනට ඉතා පැහැදිලිව අධිකරණයට ප්‍රකාශයක් කරලා තියෙද්දිත්, මේ රහස් පොලීසිය කියන එක විමර්ශනය කරනවයි කියන එක, යුක්තිය පිළිබඳ මෙහෙයුම් කරනවායි කියන පොලිස් දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයාගේ ප්‍රකාශ සටහන් කරගෙන ඒවා උසාවියට වාර්තා නොකොට සිදුකරගෙන යන දේ පිළිබඳ නම් මේ රටේ මහජනයාගේ බලවත් පිළිකුලක් ඇති වෙලා.

ජනාධිපතිතුමාට මම කියන්නේ අර ක්‍රිකට් එකේ සිද්ධිය සම්බන්ධයෙන් අනුගමනය කළා වගේ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරලා තවදුරටත් අපකීර්තියට පත් නොවී, වහාම උසාවියට දැනුම් දීලා තියෙන ආකාරයට හිටපු ඇමතිතුමාගෙන් ප්‍රකාශයක් අරගෙන නීතියට ක්‍රියාත්මක වෙන්න ඉඩ හසර ලබා දෙන්න. පොලීසියට අපි කියන්නේ ඔය දේශපාලඥයින් කියන ඒවා කරගෙන ගිහිල්ලා සහ ඔය විදිහේ කටයුතු වලින් හිතාගෙන ඉන්නවා නම් තව බොහෝ කාලයක් ඉන්න පුළුවන් කියලා බොහොම පැහැදිලිව කියන්න ඕනේ. ඔය ඇමතිවරයා ඇතුළු ඔය කණ්ඩායමට තව බොහෝ කාලයක් ඔතන ඉන්න විදිහක් නැහැ.

@ Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?