Latestදේශීය

අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 24ක් දක්වා ඉහළ නැංවීමට පියවර

පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 24ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඊට අදාළ යෝජනාව ජනාධිපතිවරයාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බවයි. රාජ්‍ය බැංකු නියෝජිතයන් සමග අස්වැසුම වැඩසටහන තව දුරටත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අදාළ ඉදිරි කටයුතු පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවැසීය.

පවුල් ලක්ෂ 20කට සහන සැලසීමේ අරමුණෙන් අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන ආරම්භ කෙරුණු අතර මේ වන විට පවුල් ලක්ෂ 14කට එමගින් ප්‍රතිලාභ හිමි වෙයි. ලැබී තිබූ ලක්ෂ 11කට අධික අභියාචනා සහ විරෝධතාවලින් 60%ක ආසන්න ප්‍රමාණයක් මේ වන විට සලකා බලා අවසන් අතර ජනවාරි මස 31ට පෙර එම කටයුතු අවසන් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ඒ අනුව ජනවාරි මස අග හෝ පෙබරවාරි මස මුල් සතිය තුළ අස්වැසුම නව අයදුම්පත් කැඳවීම ආරම්භ කරන අතර එහි දී අතිරේකව ලක්ෂ 4ක පිරිසක් සුබ සාධන ප්‍රතිලාභ ක්‍රියාවලිය තුලට ඇතුළත් කර ගැනීමට නියමිත ය.

ලෝක බැංකුව ඇතුළු ජාත්‍යත්නර සංවිධාන රජයේ මෙම වැඩපිළිවෙළ සමීපව නිරීක්ෂණය කරමින් අදාළ උපදෙස් ලබා දෙමින් සිටින බවත් රජයේ අපේක්ෂාව වන්නේ සුදුසු ම පිරිසට අදාළ ප්‍රතිලාභ ගලා යාමේ ක්‍රමවේදය සකස් කිරීම බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

දශක තුනකට ආසන්න කාලයකට පසු ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සුබ සාධන වැඩසටහන මෙය වන බැවින් මතුවන අර්බුදයන්ට පිළිතුරු සොයමින් වඩාත් නිවැරැදි ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රමවේදය සකස් කිරීම අපේක්ෂාව බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඒ සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස් සේ ම විවිධ සමාජ ක්‍රියාකාරීන්, වෘත්තිකයන් ඇතුළු පිරිසගේ අදහස් ද සැලකිල්ලට ගන්නා බව සේමසිංහ මහතා පවසයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?