Latestදේශීය

විසඳුම ජාතික ජන බලවේගය පමණයි

මා දැනට ටික කලකට පෙර එංගලන්තයේ වෙස්ට්මින්ස්ටර් (Westminster) භූගත දුම්රිය ස්ථානයේ (Underground Railway Station) දුම්රියක් පැමිණෙන තුරු සිටින අතර තුර එවකට එංගලන්ත පාර්ලිමේන්තුවේ කතානායක වරයා (ජෝන් බර්කෝව්) දැක පුදුමයට පත් විය. ඔහු තම රාජකාරි නිමවා නිවස බලා යන බව පේන්නට තිබුණි. අව් කණ්නාඩි පැළඳ ගත්, කළු කෝට්වලින් සැරසුණු කිසිදු ආරක්ෂකයකු හෝ T56 ගිනි අවි ගත් පොලිස් නිලධාරියකු ඔහු අසළ නොවීය. ඔහුගේ බෑග් උස්සාගෙන යෑම සඳහා කිසිවෙක් එහි නොසිටියේය. ඔහුත් මා මෙන්ම සාමාන්‍ය මගියෙකි. මගීන් බසින තුරු ඉවසීමෙන් බලා සිටි ජෝන් බර්කෝව් මා පිටුපසින් පෝලිමේ විත් දුම්රිය මැදිරියට ගොඩ වීය. ඔහුටත් මටත් වාඩි වීමට අසුන් නොතිබු හෙයින් දෙදෙනාම හිටගෙනම ගමනාන්තය වූ ග්‍රීන් පාක් (Green Park) දුම්රිය පල දක්වා ගොස් ඉන් බැස ගියේ සාමාන්‍ය මගීන් ලෙසය.

ලංකාවේ තරම් සැප විඳින දේශපාලකයින් ලෝකයේ වෙනත් කිසිදු රටක ඇත කියා මා නොසිතමි. එංගලන්ත හිටපු කථානායක ජෝන් බර්කෝව් පොදු ප්‍රවාහනය පාවිච්චි කලද, ලංකාවේ ප්‍රාදේශීය දේශපාලකයකු වත් පොදු ප්‍රවාහනය භාවිතා කරනවා ඔබ දැක තිබෙන වාද? ඔවුන් වටා ආරක්ෂකයන් කී දෙනෙක් තුවක්කු මානාගෙන සිටිත්ද. පණිවිඩ කරුවන්, ලේකම් වරුන් සහ තවත් අන්තේවාසිකයින් කොපමණ නම් ඔවුන් වටා සිටිනවාද. අපිට අවශ්‍ය එවැනි දේශපාලකයින් ද?

ලංකාවේ අමාත්‍ය වරයෙකුට තරම් වෙනත් කිසිදු රටක අමාත්‍ය වරයෙකුට මාලිගාවක් වැනි නිල නිවසක් හිමි නොවෙයි. ලංකාවේ අමාත්‍ය වරයෙකුට ලෝකයේ තිබෙන මිල අධිකම වාහන කිහිපයක් පරිහරණයට ලැබෙයි. බිරිඳ, දරුවන්, නෑයන් සියල්ල පරිහරණය කරන්නේ රජයේ වාහනයි.

නිවසේ විදුලිය, ජලය, දුරකථන පහසුකම් වැනි දෑ සියල්ලට අමතරව නිවසට අවශ්‍ය සියළු ගෘහභාණ්ඩ යනාදිය පවා රජයේ වියදමින් ලබා දෙයි. අවසානයේ වසර පහකට පසු විශ්‍රාම වැටුපකුත් ලබා දීමට ව්‍යවස්ථාවෙන්ම ප්‍රතිපාදන හදාගෙන තිබේ. මේ සියල්ල සඳහා යන වියදම දරන්නේ බදු ගෙවන රටේ සාමාන්‍ය මහජනතාවයි.

මුදල් අමාත්‍යාංශ දත්ත අනුව, 2021 වසරේ කැබිනට් අමාත්‍ය වරුන් 30ක් නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 1,426ක් වියදම් කොට ඇති අතර රාජ්‍ය අමාත්‍ය වරුන් 40ක් නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 1,164ක් වියදම් කොට ඇත. එකතුව රුපියල් මිලියන 2,590කි (බිලියන 2.5කි). එමෙන්ම, එක් අමාත්‍ය වරයකු සඳහා වසරක දල වියදම රුපියල් මිලියන 35ක් වනවිට රාජ්‍ය අමාත්‍ය වරයකු සඳහා රුපියල් මිලියන 34.8ක් වැයකොට ඇත. https://publicfinance.lk/en/topics/ministers-and-state-ministers-cost-of-offices-are-similar-1620729803

එහෙත්, එක් එක් අමාත්‍ය වරයාගේ වාර්ෂික වියදම වෙන් වෙන්ව ගත හොත් 2021 වැඩිම වියදමක් දරා ඇත්තේ විදේශ කටයුතු ඇමැති වරයා සඳහාය. එය රුපියල් මිලියන 72.5කි. මුදල් ඇමැතිවරයා රුපියල් මිලියන 63.01ක් වියදම් කරන විට අධිකරණ ඇමැතිවරයා රුපියල් මිලියන 53.55ක් 2021 වසරේ වියදම් කොට ඇත. මීට අතරට වෙනත් වියදම් රාශියක් ඇත. ඒවා මෙම දත්තවලට ඇතුළත් නොවේ. https://publicfinance.lk/en/topics/ministers-and-state-ministers-cost-of-offices-are-similar-1620729803
මොවුන්ගේ කාර්‍ය සාධනය මෙම වියදමට සරිලන මට්ටමක තිබුනේද යන්න විමසා බැලිය යුතුය. එසේ වූවා නම් 2022 රට බංකොලොත් වීමට කිසිදු හේතුවක් නැත.

ජාතික ජන බලවේගය රජයක් මින් වෙනස් වෙයිද? පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක බොහෝ අවස්ථාවලදි ප්‍රකාශ කොට ඇති පරිදි ලංකාව වැනි රටකට අමාත්‍ය වරුන් 30ක් අවශ්‍ය වන්නේ නැත. රාජ්‍ය අමාත්‍ය වරුන් 40ක් කුමක් සඳහාද? ජාතික ජන බලවේගය රජයක් තුළ ඉතාමත් සීමිත අමාත්‍ය මණ්ඩලයක් සිටිනු ඇත. බොහෝ දුරට එය කැබිනට් අමාත්‍යවරුන් 20කට හෝ ඊට අඩු ගානකට සීමා වනු ඇත. රාජ්‍ය අමාත්‍යවරුන් ඇත්තේම නැත. අමාත්‍යාංශ 20ට නියෝජ්‍ය අමාත්‍යවරුන් 20ක් සිටීම හොඳටම ප්‍රමාණවත් බව අනුර කියයි.

ඉන්දියාවේ කැබිනට් අමාත්‍යවරුන් සිටින්නේ 29කි. එංගලන්තයේ අමාත්‍ය වරුන් 22කි. චීනයේ 26 දෙනෙකි. එහෙත් මිලියන 22.2ක ජනගහනයක් සිටින ලංකාවේ ව්‍යවස්ථාව අනුව (1978) කැබිනට් අමාත්‍ය වරුන් 30ක් පත් කළ හැක. එම ව්‍යවස්ථාවේම තිබෙන තවත් වගන්තියක් වන 47 (4) (1) අනුව ජාතික ආණ්ඩුවක් ඇති අවස්ථාවක අමාත්‍ය මණ්ඩලය සහ රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව පාර්ලිමේන්තුවට තීරණය කළ හැක. ඉන් අදහස් වන්නේ සීමාවක් නැත කියන එකයි. මන්ද බහුතරය සකස් කරගැනීම සඳහා ජාතික ආණ්ඩු හදයි. මහින්ද රාජපක්ෂගේ 2010-15 ආණ්ඩුවේ සැලුන් දොර විවෘත කොට වෙනත් පක්ෂවල පිරිස් ගෙන අමාත්‍ය වරුන් 100කට වඩා පත් කළ අවස්ථාද තිබුණි. ලංකාව බංකොලොත් වීම ප්‍රමාද වූයේ මන්ද කියා ඔබට නොසිතෙන්නේද?

ජාතික ජන බලවේගය රජයක් තුළ බදු මුදල් වියදම් කොට අමාත්‍ය වරුන් හට කොළඹ 07 සුඛෝපභෝගි නිල නිවාස හිමිවන්නේ නැත. නිවාසයක් අවශ්‍යම මන්ත්‍රී වරයකුට හෝ ඇමැති වරයෙකුට මාදිවෙල දැනට වෙන් කොට තිබෙන කාමර දෙකක් හෝ තුනක් සහිත සාමාන්‍ය නිවසක් ලබා දීමට හැකිය. V8, රේන්ජ් රෝවර්, බෙන්ස් වැනි මිල අධික වාහන වෙනුවට ඉන්ධන පිරිමැසුම් කුඩා වාහනයක් ලබා ගත හැක. අමාත්‍ය තනතුර තිබෙන තුරු පාවිච්චි කොට රථය නැවත රජයට භාර දිය යුතුය. දැනට තිබෙන එවැනි සුඛෝපභෝගී වාහන වෙන්දේසි කොට රජයට ආදායමක් ලබා ගත හැක. ජාතික ජන බලවේගය පාලනයක් තුළ දේශපාලකයන්ට සහ වෙනත් තෝරා ගත් පිරිස්වලට බදු රහිත වාහන බලපත්‍ර නොලැබෙනු ඇත.

ජාතික ජන බලවේගය රජයක් තුළ කිසිදු ජනාධිපති වරයෙකුට හෝ විශ්‍රාමික ජනාධිපති වරයෙකුට හෝ වැන්දඹු බිරිඳකට විශ්‍රාම වැටුප් හෝ වෙනත් කිසිදු වරප්‍රසාදයක් ලබා නොදෙනු ඇත. ඇමැති වරුන්, ‍රාජ්‍ය ඇමැති වරුන් හෝ මන්ත්‍රී වරුන්ට සලකන්නේත් එලෙසමය. රජයේ වියදමින් ඔවුන් කිසිවෙක් නඩත්තු නොකිරීමට ජාතික ජන බලවේගය රජයක් කටයුතු කරනු ඇත.

ජාතික ජන බලවේගය රජයක් තුළ දේශපාලකයන්ට හෝ වෙනත් බලපුළුවන් කාරයින් රැකීම සඳහා ආරක්ෂක රථ සහ සිය ගණනක් පොලිස් හා හමුදා භටයන් යෙදවෙන්නේ නැත. යම් අමාත්‍ය වරයකුට ආරක්ෂාව අවශ්‍ය වන්නේ නම් නිවැරැදි අවදානම් තක්සේරුවකින් (Threat Assessment) පසු එය සලකා බැලිය හැක. ඔවුන් මහජන සේවකයින් නම්, මහ ජනයාගේ ගෞරවයට පාත්‍ර වන ආකාරයට කටයුතු කරන්නේ නම් මහ ජනයාම ඔවුන් ආරක්ෂා කරනු ඇත.

මෙවැනි දේශපාලන සංස්කෘතියක් ඔබට අවශ්‍ය ද? එය නිර්මාණය කළ හැක්කේ ජාතික ජන බලවේගය වැනි දේශපාලන පක්ෂයකටම පමණි. අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු හැටියට වසර 23ක් කටයුතු කොට ඇත. එම සම්පූර්ණ කාලයම ඔහුගේ නිල වාහනය ටොයටා ඩබල් කැබ් රථයකි. ඔහුට කොන්ද අමාරු වී නැත . මෙතෙක් කිසිදු අවස්ථාවක පොලිස් නිළධාරියකු ඔහුගේ ආරක්ෂාවට ලබා ගෙන නැත. ඉදිරි පස පිටුපස ලයිට් ගැසූ ආරක්ෂක රථ ඔහු කවදාවත් යොදා ගෙන නැත. ඔහුගේ පක්ෂයේ අනෙකුත් මන්ත්‍රී වරුන් දෙපළත් එසේමය. එවැනි දේශපාලකයින් රටට ආදර්ශයක් නොවෙයි ද?

ලංකාව වැනි රටක් මෙතරම් දේශපාලකයින් රොත්තක් නඩත්තු කළ යුතු ද? අප මේ මොහොතේ හෝ මෙම ගඳ ගහන දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු ය. එය කළ හැක්කේ සරල ජීවිත ගත කරන, තම ගෞරවය ආරක්ෂා කරගත් දේශපාලන පක්ෂයකටය. ඒ ජාතික ජන බලවේගයට පමණමය. අප ලැබී තිබෙන අවස්ථාව මග නොහරිමු. සූදානම් වෙමු. මෙම දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරමු. රටට ගැලපෙන මිනිසුන් පිරිසකට රට භාර දෙමු.

ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?