Latestවිදේශීය

පකිස්ථාන මැතිවරණයෙන් ඉම්රාන් ඛාන් ඉදිරියෙන්

මේ වනවිට පකිස්තාන මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින අතර එහි දැනට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අතුරින් මේ වනවිට ඉදිරියෙන් සිටින්නේ, ස්වාධීන ව මැතිවරණයට ඉදිරිපත් වූ දැනට සිරගත ව සිටින එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ටෙහෙරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ අපේක්ෂකයින්ය.

මහ මැතිවරණ ආසන 265න් 122ක ප්‍රතිඵල දැනට නිකුත් කර ඇති අතර ඉන් ආසන 49ක ජය තහවුරු කර ගැනීමට සමත්ව ඇත්තේ සිරගත ව සිටින ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට සහාය දක්වන ස්වාධීනව ඉදිරිපත් වූ අපේක්ෂකයන් වී තිබීම විශේෂත්වයකි.

එරට හිටපු අගමැතිවරයෙකු වන නවාස් ශරීෆ් ආසන 39ක් දිනා ඇති අතර ඝාතනයට ලක් වූ හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝගේ පක්ෂය දිනා ඇත්තේ ආසන 30ක් පමණි. වැඩිදුරටත් වාර්තා වන්නේ නවාස් ශරීෆ්ට තම පාර්ලිමේන්තු අසුන පවා අහිමව ඇති බවය.

දුරකථන සබඳතා, අන්තර්ජාල සබඳතා පවා විසන්ධි කොට පැවති පකිස්තාන මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවති‍යි.

පකිස්තාන මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවතියේ පසුගිය 08 වනදාය.

ඉම්රාන් ඛාන්ගේ පක්ෂය තහනම් කිරීමෙන් පසු එරට විවිධ දිස්ත්‍රික්කවල එම පක්ෂයේ අපේක්ෂකයන් ස්වාධීන කණ්ඩායම් ලෙස විවිධ ලකුණුවලින් ඉදිරිපත් වී තිබේ. ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික්කවල තමන පාක්ෂිකයන් ඡන්දය ලබා දිය යුතු පක්ෂයේ ලකුණ වෙන වෙනම ඒ ඒ දිස්ත්‍රික්කවලට වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය තුළින් ප්‍රචාරය කිරීමට ටෙහෙරීක් ඊ ඉන්සාෆ් පක්ෂය කටයුතු කර තිබිණි. එය ඉතා සංකීර්ණ කටයුත්තක් වුවද එය සාර්ථකව සිදු කළ බව එම පක්ෂ මැතිවරණ මෙහෙයුම් කමිටුව සඳහන් කර තිබේ.

අන්තර්ජාල දෝෂ නිසා ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ පමාවක් සිදු වන බව පකිස්තාන මැතිවරණ කොමිසම පැවසුවද තවත් පාර්ශ්ව පවසන්නේ, සිරගත කර සිටින ඉම්රාන් ඛාන්ගේ ටෙහෙරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ අපේක්ෂකයින් ස්වාධීනව ඉදිරිපත් වුවද ඡන්ද ප්‍රතිඵලවලින් ඔවුන් පෙරමුණේ සිටීම නිසා සිතාමතා ප්‍රතිඵල ප්‍රමාද කරන බවය.

මැතිවරණ විශේෂඥයන් අර්ථකථනය කර තිබුණේ මෙවර මහ මැතිවරණය පකිස්තානයේ දූෂිතම මහ මැතිවරණය ලෙසය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?