Latestදේශීයමතවාද

අනියමින් යාළුය නොහොත් උන් ඔක්කොම යාළුවෝ

(විදර්ශන කන්නන්ගර)

ජවිපෙ/ජාජබ වෙත ආණ්ඩු බලය මාරු වනවාට විරුද්ධව මේ වනවිට අටවමින් ඇති සන්ධානය විසින් ලංකාවේ දේශපාලනයේ මෙතෙක් පැහැදිළිව දක්නට නොලැබුණු තීරණාත්මක පසමිතුරු බෙදීමක් දැන් එළිපිට පෙන්වමින් තිබෙයි.

එම සන්ධානයේ උඩම තීරකයන් වන්නේ යටත් විජිත ධනේෂ්වරයේ නැගීම තුළ ‘ලොක්කන් බවට පත් වූ සොක්කන්ගේ පංතියේ’ වත්මන් අවසාන දේශපාලන උරුමකරුවන්‍ ය. රනිල් වික්‍රමසිංහ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක දෙබාන එහි ප්‍රමුඛතම සංකේත දෙකයි. එම ස්වදේශීය ධනේෂ්වර නිකමුන්ගේ ව්‍යාපාරික සම්ප්‍රදායෙන් පසුකාලීනව ධනය ගොඩගසා ගෙන ප්‍රභූ දේශපාලන පංතියට ඇතුල් වූ සාන්ත දාන්ත තීන්ත කූඩුවක් වූ කරු ජයසූරිය එම සන්ධානයේ මැනේජර්වරයාය. එම ප්‍රභූ ධනේෂ්වර නිකමුන්ගේ පංතියට දේශපාලනිකව කෙළවෙන අවස්ථාවල අටවාගන්නා ‘සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරය’ නම් වූ තිප්පොල මේ වනවිට යටකී සන්ධානයේ විවාහ රෙජිස්ටාර් කාර්‍යාලය බවට පත්ව ඇත.එම ප්‍රභූ ධනේෂ්වර පංතියට ඇතුළත් වීමේ හීනමානය ‘ප්‍රජාතන්ත්‍රවාදය’ නම් වූ වෙස්මුහුණකින් ආවරණය කරගත් ලිබරල් සිවිල් සමාජ කල්ලියද මේ වනවිට එම වෙස්මුහුණ පමණක් නොව ඇදිවතද ගලවා මෙම සන්ධානය වෙනුවෙන් හිරිකිත නැටුමකට අවතීර්ණව ඇත.

මේ අනුව රනිල්ලා හා චන්ද්‍රිකාලා සිය පාංතික දේශපාලන උරුමය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පරණ බොරු දේශපාලන බෙදීම් අළුයම ලූ කෙළ පිඩක් ලෙස බැහැර කර ඇත. ජවිපෙ/ජාජබ පරාජය කිරීම වෙනුවෙන් වික්ටර් අයිවන් චෞර රැජිණ හා අතිනත ගෙන ඇත.ජවිපෙ/ජාජබට ආණ්ඩු බලය ලබා නොදීම සම්බන්දයෙන් රාජපක්ෂ පොහොට්ටුව හා චන්ද්‍රිකා නෝනාද දැන් අනියමින් යාළුය. යහපාලන සිවිල් සමාජ කල්ලියට ද ජවිපෙ/ජාජබට ආණ්ඩු බලය නොයා රාජපක්ෂ පොහොට්ටුවට නැවත බලය ගියාටද කම් නැත. ‘ඔක්කොම යාළුවො මල්ලි’ නම් වූ රන්ජන්ගේ ආප්තය දැන් වඩා දේශපාලන අර්ථයක් ගෙන ඇත්තේ ජවිපෙ/ජාජබට ආණ්ඩු බලය ලබා දීම කුමන වන්දියක් ගෙවා හෝ නතර කළ යුතුය යන නව ලිබරල්-ජාතිකවාදී ප්‍රභූ සංස්ථාපිතයේ පුළුල්ම මිතුරු හවුල දෙස බලන විටය.

මේ අනුව පංති දෘෂ්ටිකෝණයට පක්ෂපාතී මානයෙන් අනාගත දේශපාලනය පරිකල්පනය කරන ඕනෑම ව්‍යාපාරයක්,කණ්ඩායමක් හෝ පුද්ගලයෙකු මෙම තීරණාත්මක කදවුරු බෙදීම පිළිබද අතිශය සාවධාන විය යුතුව ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?