Latestදේශීය

අස්වැසුම අයදුම්පත් බාර ගැනීම ඇරඹේ

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම ඊයේ (15) සිට මාර්තු 15 වනදා දක්වා සිදු කෙරෙන බවත් සුදුසුකම් ලබන සියලු දෙනාට අස්වැසුම ප්‍රතිලාභ කිසිදු බලපෑමකින් තොරව හිමිවන බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා සදහන් තරයි.
අස්වැසුම පළමු අදියර සඳහා අයදුම්පත් යොමු කර නොමැති පවුල්වලට මෙන්ම අයදුම්පත් ඉදිරිපත් කළ නමුත් නිවාස තොරතුරු සංගණනයට ලක් නොවූ ඕනෑම තරාතිරමක පුද්ගලයකුට අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම් කිරීමේ අවස්ථාව හිමිවන බවද ඒ මහතා සඳහන් කළේය.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා මෙම අදහස් පළ කර සිටියේ අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (15) පැවති මාධ්‍ය හමුවේදීය.
අස්වැසුම දෙවැනි අදියරේදී පවුල් ලක්ෂ 24කට ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂිත අතර එහිදී හැකිතාක් සත්‍ය හා නිවැරදි දත්ත ඇතුළත් අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් ප්‍රතිලාභ ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කළ හැකි බව පෙන්වා දුන් ඒ මහතා නිශ්චිත කාල රාමුව තුළ අස්වැසුම ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් දෙවැනි අදියර සඳහා අයදුම් කිරීමේ දී අයදුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බවද සඳහන් කළේය.
ඒ අනුව ජාතික හැඳුනුම්පත් නොමැති අයදුම්කරුවන්ට කඩිනමින් හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මක කෙරේ.
අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම් කිරීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙන්ම ග්‍රාම නිලධාරීවරයා හෝ ප්‍රදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කළ හැකි අතර www.wbb.gov.lk වෙබ් අඩවිය ඔස්සේ සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් තම අයදුම්පත සම්පූර්ණ කළ හැකි වේ.
මාර්ගගතව අයදුම් කළ නොහැකි පිරිස් සඳහා ආදර්ශ අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ සිවිල් සංවිධාන හරහා ලබා ගත හැකිය. මෙම ඉල්ලුම්පත් කිසිසේත්ම මිලදී ගැනීමට අවශ්‍ය නොවේ.
පළමු අදියර සඳහා අයදුම් කර ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් නොලැබූවන්ට මෙන්ම අභියාචනා පරීක්ෂණ සඳහා සහභාගී නොවූවන්ටද තොරතුරු නැවත සනාථ කිරීමට (Recertification) අවස්ථාවක් ඉදිරියේදී ලබා දෙන බව මෙහිදී අවධාරණය කෙරිණි. අස්වැසුම පිළිබඳ වැඩි විස්තර 1924 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ලබා ගත හැකිය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?