Latestදේශීය

ප්‍රසන්න රණවීර ගුවන්තොටුපල සේවකයින්ට පහර දී තර්ජනය කරයි

පසුගිය 14 වනදා අලුයම් කාලයේ කටුනායක ගුවන් තොටුපළට පැමිණි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර ගුවන් මගීන්ගේ ගමන් මලු එහා මෙහා ගෙන යන සේවකයකුගේ (පෝටර්) කනට ගසා ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනකුට බැන තර්ජනය කරමින් කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වේ.

ඔහු සහ ඔහුගේ ආරක්ෂකයින් පිරිවරා ප්‍රවේශ පත්‍ර මිලදී නොගෙන ප්‍රධාන දොරටුවෙන් ගුවන්තොටුපොළට ඇතුළු වීමට උත්සාහ කර ඇති අවස්ථාවේ ගිනි අවි සහිතව පැමිණ ඇති නිසා එම ගිනි අවි සමග ගුවන් තොටුපොළ මගී පර්යන්තයට ඇතුළු වීමට ඉඩ ලබාදිය නොහැකි බව ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් පවසා තිබේ. එහිදී රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර සහ ඔහුගේ ආරක්ෂකයින් කලහකාරී ලෙස හැසිරෙමින් ගුවන් තොටුපොළ ආරක්ෂකයින් සමග ගැටුමකට ගොස් ඇත. පසුව රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර, ඔහුගේ ගමන වැළැක්වූ බව කියන ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනාගේ ඡායාරූප ද සිය ජංගම දුරකථනයෙන් ලබාගෙන තිබේ.

එමෙන්ම රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර සමග පැමිණි අයගේ ගමන් මලු ගුවන් තොටුපොළට රැගෙන යෑම වෙනුවෙන් ගුවන් මගීන්ගේ ගමන් මලු එහා මෙහා ගෙන යන සේවකයාට (පෝටර්) ඔහුගේ නියමිත මුදලට වඩා අඩුවෙන් මුදල් ලබාදීම නිසා ඔහු නියමිත ගාස්තුව ඉල්ලා සිටි අවස්ථාවේ සේවකයාගේ කකුල සපත්තුවෙන් පාගා ඔහුගේ කණට පහර දී ඇතැයිද පහර කෑමට ලක් වූ බව කියන සේවකයා දේශපාලනඥයාට ඇති බිය නිසා සහ අනවශ්‍ය කරදර ඇති වේ යැයි සිතා මේ ගැන පොලිසියට පැමිණිලි කිරීමට ගොස් නැතැයිද ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?