Latestක්‍රීඩා

ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 9 වැනි වරට සංවිධාන කරන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (1) අමෙරිකාවේදී ආරම්භ වෙයි.

මෙවර තරගාවලියේදී අමෙරිකාව සමඟින් බටහිර ඉන්දීය කොදෙව් සම සත්කාරකයන් ලෙස කටයුතු කරන අතර, කොදෙව්හිදී තරග ආරම්භ වන්නේ අනිද්දා (2) ය. පළමු තරගයේ ආරම්භය අමෙරිකානු වේලාවෙන් ජුනි 1 රාත්‍රි 8.30ට වුවද එය ශ්‍රී ලංකා වේලාව අනුව ඉරිදා (2) පෙරවරු 7.00 වන අතර, දෙවැනි තරගය මෙරට වේලාව අනුව ඉරිදා රාත්‍රි 8.00 වේ.

කණ්ඩායම් 20ක්

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ වැඩිම කණ්ඩායම් සංඛ්‍යාවක් එක්වන තරගාවලිය මෙයයි. මෙවර කණ්ඩායම් 20ක් එක්වන අතර, අවසන් වරට පැවති විස්සයි20 තරගාවලියේදී (2022) රටවල් 16ක් එක් විය. එක්දින ලෝක කුසලාන තරගාවලි සඳහා 2007දී කණ්ඩායම් 16ක් එක්ව තිබිණි.

සත්කාරකයන් (2) සමඟ කණ්ඩායම් 10ක් 2022 ලෝක කුසලාන තරගාවලියේ නිමාවත් සමඟ මෙවර තරගාවලියට ඍජුවම සුදුසුකම් ලැබූ අතර රටවල් 2ක් 2022 වසරේ නොවැම්බර් 14 වැනිදා වන විට පැවති අයිසීසී ශ්‍රේණිගත කිරීම් අනුව එක් විය. සෙසු කණ්ඩායම් 8 ඒ ඒ කලාපවල සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලි මඟින් ලෝක කුසලානයට එක් විය.

කාණ්ඩ 4ක්

මූලික වටයේදී කණ්ඩායම් 20 කාණ්ඩ 4කින් තරග බිමට පිවිසෙන අතර එක් කාණ්ඩයකට කණ්ඩායම් 5ක් ඇතුළත් වෙයි.

ඒ අනුව ක්‍රිකට් පිටියේ වැඩිම අවධානයක් යොමුවන තරගය පැවැත්වෙන ඉන්දියාව සහ පාකිස්තානය ‘ඒ’ කාණ්ඩයට ඇතුළත්ව සිටියි. ශ්‍රී ලංකාව ‘ඩී’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර ඊට දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය සහ නේපාලය ඇතුළත් වෙයි.

කෝඩුකාරයෝ තිදෙනෙක්

සත්කාරකත්වය වීම හේතුවෙන් තරගාවලියට ඍජුවම එක්වීමේ අවස්ථාව හිමි වූ අමෙරිකා එක්සත් ජනපදය සමඟ කැනඩාව සහ උගන්ඩාව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියකට එක්වන පළමු අවස්ථාව මෙයයි. පැපුවා නිව්ගිනියාව, නේපාලය සහ ඕමානය එක්වන දෙවැනි අවස්ථාව මෙය වන අතර, අවසන් වරට පැවති තරගාවලියට එක්වූ එක්සත් අරාබි එමීර් සහ සිම්බාබ්වේ කණ්ඩායම්වලට මෙවර තරගාවලිය අහිමි විය.

ක්‍රීඩාංගණ 9ක්

තරගාවලිය ක්‍රීඩාංගණ 9කදී පැවැත්වෙන අතර, ඒ කොදෙව්හි ක්‍රීඩාංගණ 6ක් සහ අමෙරිකාවේ ක්‍රීඩාංගණ 3ක් ලෙසිනි.

මේ අතරින් අමෙරිකාවේ නිව්යොර්ක් නුවර නසාවු ක්‍රීඩාංගණය විශේෂත්වයක් ගන්නා අතර, එය මේ තරගාවලිය සඳහාම නිර්මාණය කර තිබේ. ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගයෙන් මේ පිටියේ තරග ඇරඹෙන අතර, 34,000ක ප්‍රේක්ෂක සංඛ්‍යාවකට මෙහිදී තරග නැරඹීමේ අවස්ථාව උදා වේ. තරගාවලියේ තරග 8ක් මෙහි පැවැත්වේ. පසුගිය ජනවාරි ඉදිකිරීම් ආරම්භ කළ මේ ක්‍රීඩාංගණය ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ගලවා ඉවත් කිරීමට සැලසුම් කර තිබේ.

තරග 55ක්

මෙවර තරගාවලිය තරග 55කින් සමන්විතය. හෙට (ජුනි 1) ආරම්භ වන තරගාවලිය ජුනි 29 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ඊට ඇතුළත් තරග සංඛ්‍යාව 55කි. කණ්ඩායම් 20 මූලික වටයේදී කාණ්ඩ 4කින් තරග වදින අතර එම තරග ජුනි 17 වැනිදා දක්වා පැවැත්වේ. අනතුරුව ඒ ඒ කණ්ඩවල ඉදිරියෙන්ම පසුවන කණ්ඩායම් දෙක බැගින් කණ්ඩායම් 8ක් සුපිරි වටයට සුදුසුකම් ලබන අතර, එම තරග ජුනි 19 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. අවසන් පූර්ව තරග දෙක ජුනි 26 සහ 27 දිනවල පැවැත්වෙන අතර, අවසන් මහා තරගය 29 වැනිදා පැවැත්වේ. අමෙරිකාවේ පැවැත්වෙන තරග මූලික වටයෙන් නිමා වන අතර, සුපිරි 8 සහ අවසන් වටයේ කොදෙව්හිදී පැවැත්වේ.

සුපිරි 8ට තැන වෙන් වෙයි

මේ අතර තරගාවලියේ මූලික වටයේ දක්වන දස්කම් අනුව කණ්ඩායම් 8ක් සුපිරි තරග වටයට එක් වන අතර, එහිදී කාණ්ඩ දෙකකින් තරග පැවැත්වේ.

කෙසේ වෙතත් මූලික වටයේ හිමි කර ගන්නා ස්ථාන අනුව සුපිරි වටයේ එක්වන කාණ්ඩය තීරණය නොවන අතර, ඒ වෙනුවට අයිසීසීය විසින් ඇතුළත් කළ තරග කොන්දේසි අනුව දැනටමත් කණ්ඩායම් සඳහා සුපිරි අට වටයේ ස්ථාන වෙන් කර ඇති අතර, කෙසේ වෙතත් ඒ සඳහා අදාළ කණ්ඩායම් සුදුසුකම් ලැබුවහොත් පමණි. උදාහරණයක් ලෙස මූලික වටයේ ‘ඒ’ කාණ්ඩයෙන් තරගවදින ඉන්දියාව ‘ඒ’1 ලෙස සලකා පළමු කාණ්ඩයට ඇතුළත් කර ඇති අතර ඔවුන් මූලික වටයේදී දෙවැනි ස්ථානයට පත්වුවද ඒ1 ලෙසම සුපිරි වටයට එක්වනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව ‘ඩී’2 ලෙස නම් කරමින් පළමු කාණ්ඩයට ඇතුළත් කර ඇති අතර, දකුණු අප්‍රිකාවට ‘ඩී’1 ලබාදී ඇත.

කෙසේ වෙතත් ඔවුන් නම් කර ඇති කණ්ඩායමක් වෙනුවට වෙනත් කණ්ඩායමක් සුදුසුකම් ලැබුවහොත් ඉවත්වන කණ්ඩායමේ ස්ථානය ඔවුන්ට හිමිවනු ඇත. ඒ අනුව ඩී කාණ්ඩයට එක්වන සිටින බංග්ලාදේශය සුපිරි වටයට එක්වුවහොත් ඔවුන්ට ඉවත්වන කණ්ඩායමේ (ශ්‍රී ලංකාව හෝ දකුණු අප්‍රිකාව) ස්ථානය හිමි වෙයි.

පසුගිය ශූරයෝ

අවසන් වරට පැවති තරගාවලියේ ශූරතාව දිනාගත් එංගලන්තය 2010දීත් ශූරතාව දිනාගෙන ඇති අතර බටහිර ඉන්දීය කොදෙව් පිල ද දෙවරක් (2012 හා 2016) ශූරතාව දිනා ගෙන තිබේ. මංගල තරගාවලියේ ශූරයන් වූ ඉන්දියාව (2007), පාකිස්තානය (2009), ශ්‍රී ලංකාව (2014) සහ ඔස්ට්‍රේලියාව (2021) එක් වරක් බැගින් ශූරයන් වී තිබේ.

අයිසීසී ඉහළ පෙළේ සාමාජික රටවල් අතරින් නවසීලන්තය, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය තවමත් ශූරතාව දිනා නැත.

තරග නිලධාරීන් අතරට ලංකාවෙන් දෙදෙනෙක්

මේ තරගාවලියේ තරග නිලධාරීන් අතරට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක් එක්ව සිටිති. 6 දෙනකුගෙන් සමන්විත තරග තීරකවරුන් අතරට රංජන මඬුගල්ලේ මහතා ඇතුළත්ව ඇති අතර කුමාර ධර්මසේන මහතා විනිසුරුවරයකු ලෙස තරගාවලියට එක්වෙයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?