Latestදේශීය

මිහින්තලය දුම්රිය මාර්ගය යලි සක්‍රීය කරනවා – බන්දුල ගුණවර්ධන

(නුවන් කොඩිකාර)

අතහැර දමා තිබූ මිහින්තලය දක්වා වූ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංවිධාන කටයුතු පොසොන් පොහොයට පෙර අවසන් කරන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (12) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව පොසොන් පොහොය කාල සීමාවේදී අනුරාධපුර සිට මිහින්තලය දක්වා ගාස්තු අය කිරීමකින් තොරව බැතුමතුන්ට ගමන් කිරීම සඳහා විශේෂ දුම්රියක් ධාවනයට යොදවන බව ඇමැතිවරයා කීවේය. අනුරාධපුර පොසොන් උලෙළට පමණක් නොව රට පුරා පවතින පොසොන් උත්සවවලට ද රජයේ සහ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු මඟින් පූර්ණ අනුග්‍රහයක් ලබා දෙන බව ඒ මහතා කියා සිටියේය.

පොසොන් උලෙළ සඳහා බස් රථ 400ක් අතිරේකව ධාවනයට යොදවන බව ද ගුණවර්ධන මහතා කීවේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

රට පුරාම පවතින පොසොන් උත්සව සඳහා රාජ්‍ය අනුග්‍රහයන් හා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු මඟින් පූර්ණ අනුග්‍රහයක් ලබා දෙනවා. ඒ අනුව අනුරාධපුර පොසොන් උලෙළට පමණක් නොවෙයි රට පුරාම තිබෙන පොසොන් උත්සව සඳහා රාජ්‍ය අනුග්‍රහයන් ලබා දෙනවා. ප්‍රවාහන අමාත්‍යාංශයත් ඒක කරනවා. දුම්රිය දෙපාර්තමේන්තුවත් ජාතික ගමනාගමන මණ්ඩලයේ ප්‍රධානීන් පසුගිය සතියේ අනුරාධපුරේ පැවැතුණු පොසොන් උත්සව සංවිධානය කිරීමේ සාකච්ඡාවලට සහභාගි වෙලා බස් රථ පමණක් 400ක් පොසොන් උත්සවය වෙනුවෙන් අතිරේකව ධාවනය කිරීමට එකඟතා ඇති කරගෙන තිබෙනවා. හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාගේ යුගයේදී හදලා අත්හැර දමා තිබුණු මිහින්තලය දක්වා දිවෙන දුම්රිය මාර්ගය ප්‍රතිසංවිධානය කරගෙන ගිහින් අවසන් අදියරට පැමිණිලා තිබෙනවා. ඒ නිසා අප දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දීල තිබෙනවා පොසොන් උත්සවයට කලින් අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා බස් රථවලින් සහ වෙනත් ක්‍රමවලින් පැමිණෙන බැතිමතුන්ට මිහින්තලය වන්දනා කරන්න ගාස්තු අය කිරීමකින් තොරව විශේෂ දුම්රියක් ධාවනය කරන්න කටයුතු යොදන්න කියලා.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?