Latestදේශීය

තවත් පොහොර වංචාවක තොරතුරු හෙළිවේ – පොහොර සමාගම් 7ක් ඒ අතර

(රෝෂන් තුෂාර)

රජයේ පොහොර සහනාධාර වැඩපිළිවෙල යටතේ ගොවීන්ට ලබාදීමට රුපියල් 2500 කට ආනයනය කළ පොහොර මිටිය පුද්ගලික අංශයට 3500කට විකුණා අයුතු ලාභයක් ලබාගෙන තිබියදී එම පොහොර රුපියල් 1100කට ගොවි ජනතාවට ලබා දුන් බව පවසා රජයෙන් රුපියල් 1400ක සහනයක් ලබාගෙන රජයේ මුදල් කෝටි ගණනින් වංචා කළේ යැයි කියන ප්‍රධාන පෙළේ පොහොර සමාගම් හතක සහ ඊට අනුබල දුන් සිල්ලර කඩපහක(කොළඹ පෙට්ටිකඩ)බැංකු වාර්තා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසියට නියෝග කළේය .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර පෙරේරා මහතාගේ උපදෙස් පරිදි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක අනුර ගමගේ මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළේය.

ජාතික පොහොර ලේකම් කාර්යාලය 2018 වසරේ දියත් කළ පොහොර සහනාධාර වැඩපිළිවෙළේදී මෙරට පොහොර සමාගම් 18 විසින් රුපියල් 2500ට ආනයනය කළ පොහොර මිටිය රුපියල් 1100කට ගොවි ජනතාවට ලබදිය යුතුව තිබියදී , රුපියල් 3500කට කාබන් නිෂ්පාදන සමාගමකට අලෙවිකර ගොවින්ට ලබා දුන් බව අඟවමින් රජයේ මුදල් අවභාවිතා කිරීමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙසේ බැංකු වාර්තා කැඳවීමට නියෝග කෙරිණි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරුන් ලෙස කටයුතු කළ සුමේධ පෙරේරා හා රුවන් චන්ද්‍ර යන මහත්වරුන් කළ පැමිණිල්ලක් අනුව රහස් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය මෙම විමර්ශන ආරම්භ කර ඇත.

1982 අංක 17 දරණ පොදු දේපළ පනත යටතේ මෙම විමර්ශනය සිදු කරන අතර අදාළ පොහොර තොග ඒකල හා පැහැදිලිගොඩ ප්‍රදේශයේ පිහිටි තොග ගබඩා මගින් නාත්තන්ඩිය ප්‍රදේශයේ පිහිටි පොල්කටු අඟුරු මගින් කාබන් නිෂ්පාදනය කර අපනයනය කරන මෙරට කර්මාන්ත ශාලාවකට විකුණා ඇති බව මෙතෙක් කළ විමර්ශන මගින් අනාවරණය වී ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

පොහොර මිලදී ගැනීම සඳහා ඉන්වොයිස් පත්‍ර ඉදිරිපත් කළ ආයතන පහක් පොහොර සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධයක් නොමැති බවත්,කොළඹ ප්‍රදේශයේ පිහිටි තේ අලෙවිසල්, කිරි අලවිසල් හා යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කරන මධ්‍යස්ථාන මගින්ද පොහොර ලබාදුන් බවට මුදල් ලබාගැනීමට ඉන්වොයිස් පත්‍ර යොමු කර ඇති බවත් කරුණු ඉදිරිපත් කෙරිණි.

අදාළ ආයතනවල සාක්ෂි සම්පීඩනයට වාර්තාවක් ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසිය එම ආයතනයන්හි බැංකු වාර්තා කැඳවීමට අවසර ලබාදෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය. රහස් පොලිසියේ ඉල්ලීම් සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බැංකු වාර්තා කැඳවීමට නියෝග කරමින් විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට දැනුම් ලෙස දන්වා විමර්ශන ගොනුව බහා තැබීය.

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?