Latestදේශීය

ජනතාව හෙලට ඇදදමමින් රනිල්ලා වැල්පාලමෙන් එගොඩ වෙනවා – වසන්ත මුදලිගේ

(රශ්මික ප්‍රභාත් විශ්වජිත්)

දේශපාලන පක්ෂ, අරගලයේ ක්‍රියාකාරිකයින්, බහුජන සංවිධාන, සිවිල් පුරවැසියන් එක්ව ගොඩනැගූ ජන අරගලයේ සන්ධානය පසුගිය දා (19)  එළිදැක්වූ අතර එහිදී මෙම නව දේශපාලන සන්ධානය අරගලයේ සැබෑ අභිලාශයන් වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියා කරන බව පවසන ලදි.

මෙම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා සඳහන් කළේ ගෝලීය බලවතුන්ගේ විශේෂයෙන්ම ඉන්දියාවේ සහ ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයට නැටවෙන වත්මන් රනිල් රාජපක්ෂ රූකඩ පාලනය දේශීය සහ ගෝලීය ධනකුවේරයින්ට රිසි සේ ජනතාව කොල්ලකන්න ඉඩ සලසමින් ජනතාව මහා හෙලකට ඇද දමමින් සිටින බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත මුදලිගේ මහතා,

2022 වසරේදී ජනතාව නොමැකෙන ඉතිහාස සටහනක් තබමින් ගෝල්ෆේස් අරගලය සිදුකළා. එහි කෙටිකාලීන ඉලක්කයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ එළවා දැමූ අතර අනතුරුව ක්‍රම වෙනසක් වෙනුවෙන් තමයි සියලු පාර්ශව කටයුතු කළේ. ගෝඨාභය රාජපක්ෂ එළවා දැමීමෙන් පසු එහි පුළුල් අරමුණ වන ක්‍රම වෙනසක් දක්වා වූ සටන තවදුරටත් තියෙනවා. ඒ ක්‍රම වෙනස කියන එකෙන් ජනතාව බලාපොරොත්තු වුනේ ආර්ථික ක්‍රමයේ වෙනසක්. නියෝජිත ක්‍රමයේ වෙනසක්. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක්. නමුත් ඒ වෙනස් කම් අපේක්ෂා කළ මට්ටමින් ජයග්‍රහණය කරන්න හැකිවුනේ නැහැ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා රටේ මිනිස්සු ඉල්ලූ ක්‍රම වෙනස වෙනුවට මේ තියෙන ක්‍රමය තවදුරටත් අර්බුදයේ පතුලට ඇදගෙන යන වැඩපිළිවෙල තමයි ක්‍රයාත්මක කළේ. රනිල් ජනාධිපති වෙනකොට රටේ ණය ප්‍රමාණය තිබුනේ ඩොලර් බිලියන  84යි. අද ගෙවන්න තියෙන ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ රනිල්ගේ වසර දෙකේ විතරක් ඩොලර් බිලියන 16ක් ණය වැඩිවෙලා තියෙනවා.

එහෙම තියෙන ගමන් තමයි මහබැංකුව ඇතුළු ආන්ඩුවේ පාර්ෂව කියන්න පටන් අරගෙන තියෙන්නේ, දැන් ආර්ථිකය හොදයි. ආර්ථිකය වර්ධනය වෙමින් තියෙන්නේ. ආර්ථිකය ස්ථාවර වෙමින් තියෙන්නේ කියලා.

නමුත් අපිට පේන්න තියෙන දෙයක් තමයි රට තව තවත් අගාධයට යමින් තියෙන්නේ. මේ අගාධයට යන ගමනේදී ආන්ඩුව අපිට කිවුවා වැල්පාලමෙන් යමින් තියෙන්නේ, පුංචි කාලයක් අපිට දෙන්න වැල් පාලමෙන් එතෙර වෙන වැඩේ අපි කරන්නම් කියලා.

ඒත් දැන් මොකද කරන්නේ, රනිල් වික්‍රමසිංහත්, එයාට උදව් කරන පාර්ෂවත්, ධන කුවේරයෝටිකත්, පොහොට්ටුවේ විවිධ පාර්ෂවත් මේ හැමෝම එකතු වෙලා වැල් පාලමේ අත්අල්ලගෙන යන ගමන්, අදානිලා අම්බානිලා මෝදිලා එක්ක හරි සතුටින් එතෙර වෙන ගමන්, ලංකාවේ ඉන්න ධන කුවේරයෝ වගේම ගෝලීය ධන කුවේරයෝ එක්ක හරි සතුටින් වැල් පාලමෙන් එගොඩ වෙන ගමන්, ජාතික සම්පත් ටික විකුණමින් ඒගොල්ලෝ හරි සතුටින් වැල් පාලමෙන් එගොඩ වෙන ගමන් වැල් පාලමෙන් හෙලට ඇදලා දානවා මේ රටේ ගොවියාව, කම්කරුවාව, ධීවරයාව. ශිෂ්‍යයාව, වෘත්තිකයාව, එවගේම වතුකම්කරුවාව.

මෙහෙම කරන ගමන් තමයි ආන්ඩුව කියන්නේ අපිට බලය දෙන්න කියලා. අපි හිතනවා මේ යන ක්‍රමය ඇතුළේ මේ රටේ ජන ජීවිතයවත් දේශපාලනයවත් ස්ථාවර වෙන්නේ නැහැ. අපි එහෙම කියන්නේ ඇයි? මේ රටේ ආන්ඩුව දුවන්නේ ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ කොන්දේසි එක්ක. ඒ දුවන ගමන් ඔබ දැක්කා තියෙන ගෙදරටත් කුළියට තව බද්දක් ගහන පනත් ආන්ඩුව ගේන්න යන්නේ. 

පහුගිය කාලේ වැට් එක වැඩිකළාම කන කෑම වේල කප්පාදු කළා. කරන්ට් බිල වැඩිකළාට පස්සේ ලයිට් නැතුව හිටියා. මන්දපෝෂණය වැඩිවුණා. විරැකියාව ඉහළ ගියා. ක්‍රම වෙනස කියලා ජනතාව ඉල්ලුවේ මේ ජීවිතයද? නැහැ. අපි ඉල්ලුවේ, අපි අරගල කළේ, මීට වඩා යහපත් ජීවිතයක් වෙනුවෙන්. ජන අරගල සන්ධානය ගොඩනැගුවේ ඒ අසම්පූර්ණ ජයග්‍රහනය ජනතාවට ලබාගැනීමටයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *