Latestදේශීය

ගෙවුනු මාස 7ට ළමා අපයෝජන පැමිණිලි 5000 ඉක්මවයි

මේ වසරේ ගත වූ කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 5,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසයි.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේ, පසුගිය ජනවාරි පළමු වැනි දින සිට ජුලි 31 වන දින දක්වා කාලය තුළ පැමිණිලි 5,456ක් පමණ ලැබී ඇති බවය.

ඒ අතර ළමුන් කෘෘරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1,296ක්, බරපතළ තුවාල සිදුකිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 163ක්, බරපතළ ලිංගික අපයෝජන සිදුකිරීම් සම්බන්ධව පැමිණිලි 242ක් ලැබී තිබේ.

එමෙන්ම ළමුන් සිඟමනේ යෙදවීම සම්බන්ධයෙන් ද පැමිණිලි 196ක් ලැබී ඇති බව උදය කුමාර අමරසිංහ මහතා සඳහන් කළේය.

වැඩි වශයෙන් ළමුන් සිඟමනට යෙදවීම සම්බන්ධයෙන් පැමිණිලි කොළඹ සහ නාගරික තදාසන්න ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.

විශේෂයෙන් ආලෝක සංඥා පුවරු, සුපිරි වෙළෙඳසැල් ආශ්‍රිත සහ ඇතැම් ද්‍රව්‍ය අලෙවි කරන මුවාවෙන් ළමුන් සිඟමෙනේ යෙදවීම් බහුලව සිදුකෙරෙන බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව ළමුන් සිඟමනට යෙදවීම් සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරිය දැඩි අවධානයක් යොමුකර තිබේ.

මේ අතර සමාජ මාධ්‍ය භාවිතය සහ සයිබර් අවකාශය තුළ ළමුන්ට සිදුවන හිංසනයන් සම්බන්ධයෙන් පැමිණිලි 110ක් ලැබී ඇත.

එහිදි ගැහැණු ළමුන් සම්බන්ධයෙන් පැමිණිලි 76ක් ද පිරිමි ළමුන් සම්බන්ධයෙන් පැමිණිලි 31ක් ද ලැබී ඇති බව සඳහන්ය.

අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා මේ වන විටත් පොලිස් ස්ථාන වෙත යොමුකර ඇති බව ජාතික ළමාරක්ෂණ අධිකාරිය සඳහන් කළේය.

මේ අතර ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එම අධිකාරිය සකස් කර ඇති ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සඳහා සකස් කළ පස් අවුරුදු ජාතික සැලැස්ම සැප්තැම්බර් මාසය තුළ දී කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?