Latestනවතම ලිපිවිදේශීය

වික්ටර් හාරා ඝාතකයින්ට වසර 44කට පසු සිර දඩුවම්

දකුණු ඇමරිකාවේ චිලී රාජ්‍යයේ ශ්‍රේෂ්ථාධිකරණය තම අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ලොව බිහිවූ අග්‍රගන්‍ය විමුක්ති ගී ගායකයා වූ වික්ටර් හාරා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ එවකට එරට පාලනය කල ඒකාධිපති පිනෝචේගේ පාලනයේ හිටපු හමුදා සාමාජිකයින් හත් දෙනෙකුට එරෙහිව නිශ්චිතවම වසර 20 බැගින් වූ සිර දඩුවම් ලබා දීම සනාථ කරමින් තම අවසන් තීරණය ලබා දී ඇත. 1973 සැප්තැම්බර් 11 වැනිදාට චිලියේ චන්දෙන් පත් වූ Salvador Allendeගේ සමාජවාදී පාලනය හමුදා කුමන්ත්‍රණයකින් පෙරලා දමා වසර 50ක් පිරෙන මේ වසරේ, මෙම නඩු තීන්දුව ලබාදීම විශේෂ සිද්ධියක් ලෙස සැලකේ. ගායක වික්ටර් හාරා මරා දමා ඇත්තේ ඔහුගේ කලාත්මක, සංස්කෘතික හා දේශපාලන ක්‍රියා කාරකම් හේතුවෙන් යන්න තම විමර්ශනයෙන් තහවුරු වූ බව ශ්‍රේෂ්ථාධිකරණය තම අවසන් තීන්දුවෙන් ප්‍රකාශයට පත් කර ඇත.

චිලියේ දුප්පත් ගොවි පවුලකට දාව වික්ටර් හාරා උපත ලබන්නේ 1932 සැප්තැම්බර් 28 වැනිදාය. ඔහු චිලී රාජ්‍යයේ ප්‍රකටව සිටියේ ගායකයෙකු(folklore or popular පන්නයේ ), වීදි නාට්‍ය කරුවෙකු හා විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු ලෙස වේ. එම යුගයේ කියුබානු විප්ලවීය අභාෂය ලැබූ ජනප්‍රිය “නව සංගීතය” “Nueva canción” නම් වූ සමාජවාදී සංගීත ප්‍රවණතාවය හඳුන්වා දුන් කියුබාවේ carlos Puebla සහ ආර්ජන්ටිනාවේ Mercedes Sosa සමග එක් වූ වික්ටර් හාරා විමුක්ති ගී කලාවක් සමස්ථ දකුණු ඇමරිකාවට හඳුන්වා දීම සඳහා තම හැකියාවන් හා ශක්තිය ලබා දුන්නේය. මෙම නව ගීත කලාව රතු ඉන්දියානු හා දකුණු ඇමරිකාවේ වෙසෙන විවිධ ජන කණ්ඩායම් වලට අයත් ජනප්‍රිය සංගීතයෙන් මිශ්‍ර වූ අපුර්ව සංකලනයක් විය.

වික්ටර් හාරා තම කලා ජීවිතය, ගීත කලාව ප්‍රවර්ධනය කිරීම සඳහා පමණක් වෙන් කෙරුවේ නැත. ඔහු චීලි කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන පෙලේ සාමාජිකයෙකු ද විය. මිනිසෙකු විසින් තවත් මිනිසෙකු සුරා කෑමට එරෙහිව, ඒකාධිපති මර්දනයට එරෙහිව සටන් කල දකුණු ඇමරිකාවේ ශ්‍රේෂ්ට විප්ලවවාදීන් වූ පංචෝ වීලා, කැමිලෝ තෝරෙස්, චේගුවේරා වෙනුවෙන් ඔහු ගීත ගායනා කළේය. අගනුවර දුක් විඳින කම්කරුවා වෙනුවෙන්, චිලියේ අදටත් විසඳා නැති ඉඩම් ප්‍රතිසංස්කරණ ඉල්ලා හඬ නගන ගොවියන් වෙනුවෙන් ඔහු ගීත ගායනා කළා පමණක් නොව එම අරගල සඳහා ඍජුවම සම්බන්ධ විය. චිලියේ සුප්‍රකට කවියෙකු වූ පැබ්ලෝ නෙරුඩාගේ කවිද ඔහු තම ගීත සඳහා තෝරා ගනු ලැබුවේය.

තම රට තුල ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් පමණක් නොව අධිරාජ්‍යවාදීන් විසින් තම පහසුව පතා බෙදා වෙන් කල සමස්ථ දකුණු ඇමරිකාවේ සියළු රටවල් තනි එක් ජාතියක් දක්වා සමගි කිරීම සඳහා ඔහු ගීත ගයනා කළේය. වියට්නාම් යුද්ධයට හා කියුබාවට එරෙහිව ඇමරිකානු මැදිහත් වීම් වලට එරෙහිව ඔහු තම කලාත්මක හැකියාවන් ලබා දෙමින් ලොව පුරා සංචාරය කළේය. ඔහුගේ මෙම ජාත්‍යන්තර හා දකුණු ඇමරිකානු කලාපය තුල වෙසෙන දුක් විඳින ජනතාවගේ උස් වූ නිදහස වෙනුවෙන් වූ මැදිහත් වීම නිසාම වික්ටර් හාරා පසු කාලීනව ඇමරිකානු CIA ව්‍යාපාරයේ ඍජු ඉලක්කයක් බවට පත් වෙමින් තිබිණි.

1973 සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාවේ මැදිහත් වීමෙන් එවකට චිලී රාජ්‍යය පාලනය කල අයන්ඩේගේ සමාජවාදී පාලනය පෙරලා දැමීමත් සමග වික්ටර් හාරා චිලි හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු ඇතුළු 5000කට අධික දේශපාලන සිරකරුවන් වහා චිලියේ අගනුවර වන සන්තියාගෝ නුවර ක්‍රීඩාංගනයකට ගාල් කරන ලදී. දරුණු ලෙස වද හිංසාවට ලක් කල වික්ටර් හාරා සමග පිනෝෂේගේ පැසිස්ට් හමුදාව ඔහු කෙරෙහි කෙතරම් වෛරයක් තබා තිබුනාදයත් හාරාගේ ඇඟිලි තුඩු පොරවකින් එකින් එක කපා දැමුවේ යලි කිසිදාක ඔහුට ගිටාරය වාදනය කිරීමට ලබා නොදෙන බවට සපථ කරමිනි.

වධකාගාරය තුල මරණය සමග පොර බඳිමින් සිටියද ඉඩ ලද ඇසිල්ලේ ඔහු තම අවසාන ගීතය ලියා තිබුනේ ඒකාධිපතිත්වය හා ෆැසිස්ට්වාදයට එරෙහිව “උන් මා සොයා පැමිණ ඇත” හෝ “අපි 5000ක්” යන තේමාව යටතේය. සිරකරුවන් අතර හුවමාරු වූ මෙම අවසන් කවිය “හාරා ගේ අවසන් නොවූ ගීතය ලෙස” පසුව ඔහුගේ බිරිඳ JOAN JARA විසින් පසුව ප්‍රසිද්ධ කරන ලදී. දින දෙකක් තිස්සේ දරුණු වද බන්ඳනයට ලක් වූ වික්ටර් හාරා 1973 සැප්තැම්බර් 14-16 දිනයක චිලි හමුදාව විසින් මරා දමන ලදී.
ඔහු මරා දැමූ ආකාරය පසුව සන්තියාගෝ නුවර සිරගෙයි සිටි තවත් සිරකරුවෙකු හා ලේඛකයෙකු වූ MIGUEL CABEZAS විසින් හෙළි කර තිබුනේ මෙසේය.

“වික්ටර්ව අත්අඩංගුවට ගත් පසු සොල්දාදුවෝ පොරවකින් ඔහුගේ අත් දෙකේ ඇඟිලි අනුක්‍රමිකව එකින් එක කපා දැමූවා. ඉන්පසුව, ඔහුට දිගින් දිගටම පහර දෙමින්, ඔහුගේ විනාශ වූ දෑත් බූට් වලින් පාගමින් “වරෙන් දැන් උඹේ අම්මා වෙනුවෙන් සිංදුවක් උඹේ ගිටාරයෙන් සෙල්ලම් කරපන් !” යනුවෙන් ඔහුට අපහාස කළා. අන්තිමේදී, ඔහුට වේදනාවෙන් නැගිටින්න ඉඩ දී, උන් ඔහුට ගීයක් ගායනා කරන ලෙස අණ කළා. Víctor Jara ඔහු සමඟ රඳවා සිටි තම සටන්කාමී සගයන් වෙත හැරී Popular Unity හෙවත් el peublo unido jamas sera vencido(පොදු අරමුණක් වෙනුවෙන් සංවිධාන වූ ජනතාවක් කිසිදා පරාජය කල නොහැක) ගීතය ගායනා කරමින් Pinochetගේ සොල්දාදුවන්ට අභියෝග කළා. එවිට සොල්දාදුවන් ඔහුට මැෂින් තුවක්කු වලින් වෙඩි තැබුවා. ඔහුගේ ගායනය භාරගත් සටන්කාමී සිරකරුවන් බහුතරයක් එම ගීතය ගායනා කරමින් එය අවසන් කලේ සොල්දාදුවන්ට බැන වදිමින්. පසුව ඔවුන්ද සොය සොයා මරා දැමුවා. වික්ටර් හාරාගේ මරා දැමු සිරුර කඳවුර ඉදිරියේ දින කීපයක්ම ප්‍රදර්ශණය කළා”යයි තම අමිහිරි මතකය යලි ආවර්ජනය කරමින් පවසා සිටියේය.

පසුව වෙඩි පහරවල් 44ක් එල්ල කර තිබූ ඔහුගේ සිරුර හඳුනා ගැනීම සඳහා ඔහුගේ බිරිඳට පෙන්වා තිබිණි. 1978 දී පළමු වරට වික්ටර් හාරාගේ බිරිඳ විසින් තම ස්වාමියා වෙනුවෙන් ෆිනෝෂේ පාලනයට එරෙහිව නඩු පැවරුවත් එය විභාගයට ලක් නොවිණි. 2009 දී කොමියුනිස්ට් පක්ෂයේ සටන්කාමී සහෝදරයකු වූ ලිට්‍රේ ක්විරෝගා (33) ගේ, වික්ටර් හාරා ඇතුළු තවත් දේශපාලන සිරකරුවන් තිදෙනකුගේ සිරුරු වධහිංසා පැමිණවීමේ සලකුණු සමඟ 2009 දී අධිකරණ නියෝගයකින් පසුව යලි ගොඩ ගන්නා ලදී. එවකට චිලිය පාලනය කල ජනාධිපතිනි Michelle Bachelet ඇතුළු චිලී ජාතිකයන් දහස් ගණනක් එක්රැස් වූ නිල උත්සවයකදී ඔහුගේ සිරුර සියළු රාජ්‍ය ගෞරව සහිතව යලි මිහිදන් කරන ලදී. හාරා අත්අඩංගුවට ගෙන මරා දැමු ක්‍රීඩාංගණයද ඔහුගේ නමින් නම් කෙරිණි.

වික්ටර් හාරා ඝාතණයෙන් වසර හතළිහකට පමණ පසු, එනම් 2013 ජනවාරි 3 වන දින, චිලී අධිකරණය විසින් හාරා මරා දැමීමට ඍජුවම වගකිව යුතු නිලධාරියෙකු වූ Hugo Sánchez ඇතුළු පොලිසියට භාර වූ තවත් පුද්ගලයන් හතර දෙනෙකු සිරගත කරන ලදී. 2015 ජුලි 24 වෙනිදා චිලියේ ප්‍රකට විනිසුරුවරයෙකු ලෙස සැලකෙන මිගෙල් වස්කේස් ප්ලාසා විසින් හිටපු සොල්දාදුවන් දස දෙනෙකුට අධිචෝදනා ගොනු කරන ලදී. ඔවුන්ගෙන් අට දෙනෙකුට 2018 ජූලි 3 වන දින වසර දහ අටක සිර දඬුවම් නියම කරන ලදී. Hugo Sánchez Marmonti, ක්‍රීඩාංගන කඳවුරේ අණදෙන්නා ලෙස හා වික්ටර් හාරා හට වධහිංසා සිදුකල ප්‍රධාන අපරාධකරුවා මෙන්ම කඳවුරේ වධකයා ලෙස හැඳින්වූ 23 හැවිරිදි ලුතිනන්වරයෙකු වූ Edwin Dimter Bianchi, චිලී ක්‍රීඩාංගනයේ සිට දිවි ගලවා ගත් රැඳවියන් විසින් හඳුනා ගෙන තිබිණි. වික්ටර් හාරා ඝාතණයට හවුල් වූ තවත් හමුදා නිලධාරියෙකු වූ Pedro Pablo Barrientos 2018 සිට එක්සත් ජනපදයේ Florida හි ජීවත් වන අතර ඔහුව තම රටට ලබා දෙන ඉල්ලා චිලි රජය ඉල්ලා සිටියත් එය ඇමරිකාව විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබුවේය. කෙසේවෙතත් ඇමරිකාවේ ෆ්ලොරීඩාවේ ෆෙඩරල් ජූරි සභාවක් විසින් වික්ටර් හාරා ඝාතනයට ඔහු වැරදිකරුවෙකු ලෙස තීරණය කර 2016 ජුනි මාසයේදී ඝාතනය කරන ලද කලාකරුවාගේ පවුලට ඩොලර් මිලියන 28 ක් ගෙවන ලෙස නියම කරන ලදී.

ඒ අනුව මේ දක්වා ජෙනරාල් Augusto pinochetගේ චිලියේ 1973 හමුදා කුමන්ත්‍රණයෙන් පසුව සිදු වූ වික්ටර් හාරා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු සොල්දාදුවන් හා නිලධාරින් අට දෙනෙකුට එරෙහිව පැනවූ සිර දඬුවම් චිලී ශ්‍රේෂ්ඨාධිකරණය සඳුදා (අගෝස්තු 28) දා තහවුරු කළේය. මෙම හමුදා සාමාජිකයින් වයස අවුරුදු 73 ත් 85 ත් අතර පසුවන අතර මෙම අවසන් දඬුවම තහවුරු කල ඊයේ දිනයේ අගෝස්තු 28 වනදා වන විටත් වසර 8 සිට 25 දක්වා සිරදඬුවම් විඳිමින් සිටි අතර තමන් නිවැරිදි කරුවන් සේ පවසමින් තම අභියාචනා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ඊයේ අගෝස්තු 28 වැනිදා චිලීයේ ශ්‍රේෂ්ථාධිකරණය ලබා දුන් මෙම අවසන් නඩු තීන්දුවත් සමග වික්ටර් හාරා ඝාතණයට හා සන්තියාගෝ ක්‍රීඩාංගණයේ රඳවා සිටි අනෙකුත් දේශපාලන සිර කරුවන් මරා දැමු හමුදා අළුගෝසුවන්ට තම දඬුවම් කාලය අවසන් වන තුරු සිර ගෙවල් තුල තම ජීවිතයේ ඉතිරි කාලය ගත කිරීමට සිදුවනු ඇත. පාලකයන්ගේ නීති විරෝධී නියෝග පිලිපැද මෙසේ දඩුවම් විඳීමට සිදු වූ ලොව ප්‍රථම හමුදා හා පොලිස් නිලධාරීන් කණ්ඩායම මොවුන් නොවනු ඇති බවට කිසිදු සැකයක් නොමැත. එහෙත් නිරායුධ ජනතාවට එරෙහිව මර්දනයන් සිදු කර සැඟව ජීවත්වීමට මානවවාදය ඉඩ නොදෙන බවත් කවදා හෝ ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවන බවට චිලි රාජ්‍යයේ ශ්‍රේෂ්ටාධිකරණය ලබා දුන් මෙම ඓතිහාසික නඩු තීන්දුවෙන් තව දුරටත් කියා දේ.

ආදරය,නිදහස, සාමය හා සමාජ සාධාරණත්වය වෙනුවෙන් තම කලාව මෙහය වූ වික්ටර් හාරාගේ සටන් කාමී කලා ජීවිතය පසු කාලීනව U2 සහ Bob Dylan වැනි සංගීතඥයින්ට විශාල ආභාෂයක් ලබා දුන් බව පැවසේ. 2013 දී චිලිහි සන්තියාගෝ හි පැවති සංගීත ප්‍රසංගයේදී ලෝක ප්‍රකට පොප් ගායක Bruce Springsteen විසින් වික්ටර් හාරා හා මරණය ඉදිරියේ පෙන්වූ ඔහුගේ නිර්භීත භාවයට තම උපහාරය දැක්වුවේය. කෙසේ වෙතත් 1973 සැප්තැම්බර් 11 වැනිදා Salvador Allendeගේ සමාජවාදී පාලනය හමුදා කුමන්ත්‍රණයකින් පෙරලා දැමු ජෙනරල් Augusto Pinochetගේ ඒකාධිපති පාලනය 1990 වන තෙක් චිලී රාජ්‍යය පාලනය කළ අතර 2006 දී ඔහු මිය ගියේ ඔහුගේ පාලන තන්ත්‍රය විසින් සිදු කරන ලද අපරාධවලට කිසිදු ආකාරයකින් අධිකරණ ක්‍රියා දාමයකට මුහුණ නොදී නිදහස් පුද්ගලයෙකු ලෙසිනි. එසේම එවකට මෙම හමුදා කුමන්ත්‍රණයේ මහා මොලකරු ලෙස සැලකෙන ඇමරිකානු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංගර්ද තවමත් ජිවතුන් අතර සිටි. 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සිදුවූයේද 1973 චිලී හමුදා කුමන්ත්‍රණය සිදු වූ දිනයේම වීම තවත් විශේෂ සිද්ධියකි. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් ඉදිරිපත් කල වාර්තා වලට අනුව වාමාංශික ක්‍රියාකාරීන් සහ අනෙකුත් විරුද්ධවාදීන් 20000ක් පමණ ඇමරිකානු සහය ලැබූ Augusto pinochetගේ හමුදා පාලනය විසින් ඝාතනය කරනු ලැබ ඇත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?