Latestදේශීය

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට එනකොට රනිල් ජනාධිපතිවරණයෙන් පැරදිලා ගෙදරත් ගිහිල්ලා – අනුර දිසානායක

විවිධ දේශපාලන ගැට ගසමින් ජනතාව තුළ ව්‍යාකූලත්වයක් සහ අවිනිශ්චිතතාවක් ඇති කිරීම විනෝදාංශයක් බවට පත් කර ගෙන සිටින අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ධුරය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ඒමේ සූදානමක් ඇතැයි කියන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් වන විට ජනාධිපතිවරණයෙන් පැරදී ගෙදර ගොස් සිටිනු ඇති බව අවධාරණය කෙරේ.

ඊයේ (11) පාර්ලිමේන්තුවේ දී පැවති විවාදයකට සහභාගී වෙමින් ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව පැවසීය.

සභාව කල් තබන අවස්ථාවේ ඒකාබද්ධ යෝජනාව සම්බන්ධ විවාදයට එක් වෙමින් ඔහු වැඩි දුරටත් පළ කළ අදහස් පහත දැක්වේ.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ සෙසු අදාළ නීති මගින් අවශ්‍ය බවට පනවා ඇති පරිදි 2024 සැප්තැම්බර් මස 17 වන දින සිට ඔක්තෝබර් 16 දින දක්වා වූ කාල පරිච්ඡේදය තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවට මෙම සභාව යෝජනා සම්මත කර සිටී.”

බැලූ බැල්මට මෙවැනි යෝජනාවක් අවශ්‍ය වන්නේ නැහැ. ව්‍යවස්ථාවටත් ඊට අනුරූපී වන පරිදි සකස් කර තිබෙන නීතිවලටත් අනුව ඉතා පැහැදිලිව ජනාධිපතිවරණය මේ සැප්තැම්බර් 16ත් ඔක්තෝබර් 17ත් අතර පැවැත්විය යුතුයි. ඒ නිසා විශේෂ යෝජනා සම්මතයක් අවශ්‍ය වන්නේ නැහැ. මේ 17වැනි වෙන කොට මැතිවරණ කොමිසමට බලය එනවා. පාර්ලිමේන්තුවට මෙවැනි යෝජනාවක් ගෙන ඒමට සිදුව තිබෙන්නේ ජනතාව තුළ විශාල සැකයක් ව්‍යාකූලත්වයක් නිර්මාණය කර තිබෙන නිසයි. මෙය අද පමණක් නොවෙයි, පළාත් පාලන මැතිවරණය කල් දැම්මා. පළාත් සභා මැතිවරණය අවුරුදු පහකට ආසන්න කාලයක් කියලා නැහැ. ඒ නිසා ජනතාව තුළ මතයක් තිබෙනවා ජනාධිපතිවරයා මොකක් හරි වෙට්ටුවක් ජනාධිපතිවරණයට දමයි කියලා. පළාත් පාලන ඡන්දය නැතිනම් කොමසාරිස්වරයෙකුගෙන් පාලනය කළ හැකියි. පළාත් සභාව පිහිටුවා නැත්නම් ආණ්ඩුකාරවරයෙකුගෙන් පාලනය කළ හැකියි. නමුත් ජනාධිපතිවරයෙක් නැතිනම් ආණ්ඩුවකුත් නැහැ. මොකද, කැබිනට් මණ්ඩලයේ මූලාසනය හොබවන්නේ ජනාධිපතිවරයායි. ඒ නිසා අපි එකඟ නොවෙන කරුණු තිබුණත් අපේ ව්‍යවස්ථාවේ මේ සම්බන්ධව පරිපූර්ණව කරුණු දක්වා තිබෙනවා. ජනාධිපතිවරයාගේ ධුර කාලය පැයක්වත් හිස්ව තැබෙන ලෙස ව්‍යවස්ථාව සකස් කර නැහැ. ඒ නිසා අනිවාර්යයෙන් ජනාධිපතිවරයෙක් අපේ රටේ සිටිය යුතුයි.

ඊළඟට පැන නගින ප්‍රශ්නය මේ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු පහද, හයද කියන එකයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තියේ ඉතා පැහැදිලිව සටහන් කොට තිබෙනවා ජනතාව විසින් තෝරා ගන්නා ජනාධිපතිවරයා පස් අවුරුදු ධුර කාලයක් දරන බව. හැබැයි 83 වගන්තියේ ‘ආ’ වගන්තියේ සඳහන් වන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය සාවුරුද්දක් ඉක්මවන්නේ නම්, ජනමත විචාරණයක් අවශ්‍ය බවයි. මේ වගන්තිය පදනම් කරගෙන රංගේ බණ්ඩාර මහ ලේකම්වරයා ගමක තිබූ රැස්වීමකදී ප්‍රකාශ කළා, ජනාධිපතිගේ ධුර කාලය පහ සහ හය කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් මතුවී තිබෙන බැවින් එය විසඳීම සඳහා සංශෝධනයක් ගෙන ඒමට කැබිනට් මණ්ඩලය අනුමත කළා කියලා. නමුත් ඇමතිවරුන් සඳහන් කළේ එවැනි කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ගෙන ආවේ නැහැ කියලා. නමුත් ඊට පසුව කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා. එයින් පැහැදිලි වෙන්නේ රංගේ බණ්ඩාරත් නියෝජනය කරන යම් ස්ථානයක සාකච්ඡාවක් සිදුවී තිබෙන බවයි. එයින් කියැවෙන්නේ මාලිගාවක් ඇතුලේ කුමන්ත්‍රණයක් සිදුවෙන බවයි. වජිර, ඔබ අනිවාර්යයෙන්ම එතැන ඉන්නවා මයි. එය අනිවාර්යයි. සිදුවී තිබෙන සාකච්ඡාව රංගේ බණ්ඩාරට සංයමයෙන් ආරක්ෂා කර ගන්න බැරිවී පැන්නා. ඊට පසුව කැබිනට් මණ්ඩලයට මෙවැනි පත්‍රිකාවක් ගෙන ආවා. එහි සඳහන් කර තිබෙන්නේ “සාවුරුද්දක් ඉක්මවා යන වචන වෙනුවට පස් අවුරුද්දක් ඉක්මවා යන වචන මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(ආ) ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ඉදිරිපත් කිරීම පිණිස ගරු ජනාධිපතිතුමා විසින් ගෙන ආ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.” කියලයි.

අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීමේ බලය තිබෙන්නේ කැබිනට් මණ්ඩලයටවත් පාර්ලිමේන්තුවටවත් නොවෙයි; ශ්‍රේෂ්ඨාධිකරණයටයි. ධුර කාලය පහද, හයද කියන ප්‍රශ්නය අවස්ථා තුනකදී ශ්‍රේෂ්ඨාධිකරණය විසඳා තිබෙනවා. 2018 ජනවාරි මාසයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් 2021 දක්වා ධුරය දැරිය හැකිදැයි මතය විමසුවා. ඒ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අවුරුදු පහක් ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. දෙවන අවස්ථාව 2019 ජනාධිපතිවරණය ප්‍රකාශ කළාට පසුව පුද්ගලයෙක් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් නැවත එම තත්වය ප්‍රශ්න කළා. ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපනයක් ප්‍රකාශ කරන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් ලබාදෙන්නයි ඔහු පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා. ඒත් එය විභාගයට ගැනීමෙන් තොරව නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියා කළා. ලෙනව ගෙනාවා වගේ පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා. ඊට පසුව ලෙනව මහතා ඉදිරිපත් කළ පෙත්සමත් නිෂ්ප්‍රභා කර තිබෙනවා. ඒ විතරක් නොවෙයි ධුර කාලය වසර පහක් බව තීරණය කර, ජනාධිපතිවරණයකුත් පවත්වා තිබෙනවා. අර්ථනිරූපණයක් පමණක් නොව ප්‍රායෝගිකවත් සිදුකර තිබෙනවා. ව්‍යවස්ථාව පිළිබඳ අර්ථනිරූපණය කිරීමේ බලය තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා තුනකදී ධුර කාලය පිළිබඳව සිය මතය ඉදිරිපත් කර තිබෙනවා.

19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී 83වැනි වගන්තියට අත නොතිබ්බේ එය ජනමත විචාරණයකට තුඩු දෙන නිසයි. ඒ වගේම 32(ආ) වගන්තියේ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු පහක් ලෙස නිශ්චිතව දක්වා තිබෙනවා. තව මොන විකාරයක්ද මේ පුටුවේ ඉන්න හදන්නේ? නිශ්චිතව ඒ ගැන සඳහන් කර තිබුණත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේත් ජනතාවගේත් අදහසක් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ගේම්කාරයෙක් නිසා මොකක් හරි ගැටයක් ගහයි කියලා. වජිර අබේවර්ධන කියනවා තව අවුරුදු 10ක් ඉන්න දෙන්න ඕනෑ කියලා. ඔබතුමා මුක්කුවටත් තියන්න වෙයි. රංගේ බණ්ඩාර කියනවා තව අවුරුද්දක් තියන්න ජනමත විචාරණයක් තියන්න ඕනෑ කියලා. මේ නිසා රට තුළ ව්‍යාකූලත්වයක් මතුව තිබෙනවා. රනිල් මාර සූත්තරකාරයා, ගැටකාරයා කියලා හිතාගෙන ඉන්න අය පව්. රනිල් සූත්තරකාරයෙකුත් නොවෙයි. ගැටකාරයෙකුත් නොවෙයි. ඒ ඔළුවෙන් ගහපු හැම ගේමක්ම අසාර්ථකයි. එහෙම මාර ගේම්කාරයෙක් නම්, එයා වැඩිම ගේම් ගැහුවේ පක්ෂය තුළ නේ. එයා ආණ්ඩු මෙහෙය වූවාට වඩා මෙහෙයවලා තිබෙන්නේ පක්ෂයක්. 94 ඉඳලා 2019 වනතෙක් පක්ෂයක් මෙහෙය වූවා. එයා 2002 ඉඳලා 2004 වෙනකම් ආණ්ඩුව මෙහෙය වූවා. ඊට පස්සේ 2015 ඉඳලා 2019 වනතුරු මෙහෙය වූවා. දැන් අවුරුදු දෙකක් මෙහෙය වනවා. පක්ෂය අවුරුදු 30ක් මෙහෙයවලා ගේම් ගහලා අන්තිමට පාර්ලිමේන්තුවටවත් එන්න බැරි වුණා. එයා අටවපු එකක්වත් සාර්ථක වෙලා නැහැ. ඒ නිසා ජනාධිපතිවරණය වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කිසිවක් සාර්ථක නොවෙන බව පැහැදිලියි.

ගේම් මාස්ටර් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තමන්ව ඝාතනය කරන්න සැලසුම් කළ පුද්ගලයාත්, කරට අත දාගන්න තරම් ගේම් ගැහුවා. මේ සංශෝධනය හදිසි පනතක් විදිහට ගේන්න උත්සාහ කරනවා. 2010දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 18වැනි සංශෝධනය හදිසි පනතක් ලෙස ගෙනාවා. අවස්ථා දෙකක් වෙනුවට ඊට වඩා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකියි කියන සංශෝධනය ගෙනාවා. 2016දී ඔහුට මතුවන ගැටලුවකට අදාළ කරුණක් 2010 දෙසැම්බර් මාසයේදී ව්‍යවස්ථා සංශෝධනයක් හදිසි පනතක් ලෙස ගෙනාවා. නැවුම් පාර්ලිමේන්තුවේ 2/3ක සම්මතය ගන්න බලාගෙන ගෙන ආ සංශෝධනය අසාර්ථක වුණා. හදිසි පනත් ලෙස ගෙන එන්නේ ඉතාමත් අහිතකර වුවමනාවන් වෙනුවෙන් නිසා 19වැනි සංශෝධනයේදී එම අවස්ථාව ඉවත් කරනු ලැබුවා. 21 වැනි සංශෝධනයේදී හදිසි පනත් ගෙන ඒම, ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් සහ හදිසි ආපදාවක් ඇති වුණු අවස්ථාවකදී අවශ්‍ය නීති සම්පාදනය කිරීම සඳහා කියන අවස්ථා දෙකට සීමා කළා. ඒ වගේම ව්‍යාවස්ථා සංශෝධනයක් හදිසි පනතක් ලෙස ගෙන ආ නොහැකි බව විශේෂයෙන් සඳහන් කර තිබෙනවා. ඒ නිසා හදිසි පනතක් හැටියට මේ සංශෝධනය පාර්ලිමේන්තුවට එන්නේ නැහැ.

සමාජයේ තවත් සාකච්ඡාවක් හදනවා ධුර කාලය පහකට අඩු කරන යෝජනාවක් ගෙනත් කාරක සභා අවස්ථාවේදී ගේමක් ගහයිද කියලා. පළාත් සභා මැතිවරණ සංශෝධන පනතේ හරයට මුළුමනින්ම පටහැණි ලෙස සංශෝධන සිදුකළා. ඒ නිසා නීති සම්පාදකයන් යම් පනතක හරයට බලපාන සංශෝධන කාරක සභා අවස්ථාවේදී ගෙන ආ නොහැකි බව තහවුරු කළා. හදිසි පනතක් හැටියට ගෙන එන්නත් බැරි නම්, කාරක සභා අවස්ථාවේදී හරයට පටහැණි සංශෝධන ගෙන එන්නත් බැරි නම් කැබිනට් යෝජනාවක් සම්මත කළේ ඇයි? කැබිනට් සංශෝධනය අනුව අදාළ සංශෝධන නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් සම්පාදනය කරන්න ඕනෑ. ඒ කෙටුම්පත කැබිනට් මණ්ඩලයට එන්න ඕනෑ. කැබිනට් මණ්ඩලයෙන් සම්මත කළ පසුව ගැසට් පත්‍රයේ පළ කර සතියක් තිබෙන්න ඕනෑ. ඉන්පසුව පාර්ලිමේන්තුවේ සති දෙකක කාලයක් තිබෙන්න ඕනෑ. ඒ අතර අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර, සති තුනක කාලයක් ලබා දෙන්න ඕනෑ. මේ ලෙස ආසන්න වශයෙන් සති නවයකට වැඩි කාලයක් ගත වෙනවා.

ඒ අතර මෙම 17 වැනි දින ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ බලය මැතිවරණ කොමිසමට ලැබෙනවා. මැතිවරණ කොමිසම දින 16ත් 21ත් අතරතුර නාම යෝජනා කැඳවිය යුතුයි. දින 28ත් 42ත් අතර ඡන්දය පැවැත්විය යුතුයි. මේ පනත යන වේගයයි ඡන්දය පැවැත්වෙන වේගයයි බැලුවාම පනත පාර්ලිමේන්තුවට එන කොට රනිල් ගෙදර. තමන්ගේ කාලය ඇතුළත කිසිදු අදාළත්වයක් නැති පනතක්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉතා හොඳින් අර්ථ නිරූපණය කර දී තිබෙන නීතියක් සම්බන්ධයෙන් සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා වගේ කෙනෙක් කැබිනට් එකේදි අත ඉස්සුවේ ඇයි? මේක පිස්සුවක් කියලා තේරෙන්නේ නැද්ද? ඇත්තටම ගත්තොත් 83(ආ) වගන්තිය නිෂ්ක්‍රීය වගන්තියක්. පණ නෑ. 32(ආ) වගන්තියට ඇතුල් කර තිබෙන සංශෝධන අනුව 83(ආ) වගන්තිය පණ නැති කර තිබෙනවා. එවැනි මළ වගන්තියක් අයින් කළ යුතු නම්, පස්සේ වෙලාවක අයින් කරමු. වැදගත් ම දේ 83වැනි වගන්තියට අත තියන්න නම්, ජනමත විචාරණයක් ඕනෑ. ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු වෙලාවක ජනමත විචාරණයකුත් ගෙන ඒමට උත්සාහ කිරීමෙන් සමාජය තුළ විශාල ව්‍යාකූලත්වයක් ඇති වෙනවා. මේ සියල්ල කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යි. නිරන්තරයෙන් සමාජය තුළ සැකයක්, දෙගිඩියාවක් ව්‍යාකූලත්වයක්, අවිශ්වාසයක් නිර්මාණය කිරීම ඔහුගේ විනෝදාස්වාදයක් වෙලා තිබෙනවා. සමාජය ව්‍යාකූලත්වයට පත්කර හිනා වෙන එක රනිල් වික්‍රමසිංහ තමන්ගේ විනෝදය කර ගෙන. මන්ත්‍රිවරු අතර සැකය, අවිශ්වාසය වර්ධනය කර, හිනා වෙන එක ඔහුගේ විනෝදාංශයක්. ගැටයක් ගහනවා, කට්ටිය ඒ පිටුපස යනවා, කට්ටිය එකතු වෙලා හිනා වෙනවා. හරි ලාමක මනසක් තිබෙන්නේ.
@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *