Latestදේශීය

ජනාධිපතිකමට සුදුස්සෙක් පොහොට්ටුවේ නැහැ, රනිල් තමයි එකම සුදුස්සා – ප්‍රසන්න රණතුංග

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බලකර කියා සිටින බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තම පක්ෂය මෙතෙක් තීරණය කර නැති බවය.

එමෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා සුදුසු පුද්ගලයකු තම පක්ෂය සතුව නැතැයිද ඔහු කීය.

ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපතිවරයා ඉදිරිපත් වුවහොත් කළගුණ දන්නා පුද්ගලයකු ලෙස තමන් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියාකරන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

ගම්පහ උඩුගම්පොළ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත පිරිසක් අමතමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.

ලබන ඉරිදා (21) කඩවත නගරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනහමුවක් පැවැත්වෙනවා.

රජයේ වැඩපිළිවෙළ ගැන පැහැදිච්ච විශාල පිරිසක් ඉන්නවා. අපි ඔවුන් ළඟට යන්න ඕන. එහෙම නැතුව මිනිස්සු අපි ළඟට එනකම් බලාගෙන ඉඳල මේ මැච් එක ගහන්න බැහැ. ඒ නිසා හැම මන්ත්‍රීවරයෙක්ම ගමට යන්න ඕන.

මේ මාසේ 17 වැනිදායින් පසුව මැතිවරණ දිනය තීරණය කිරීමේ සම්පූර්ණ බලය මැතිවරණ කොමසාරිස්ට පැවරෙනවා. ඔක්තෝබර් 15 වැනිදා වෙන කොට ජනාධිපතිවරණය පවත්වන්න වෙනවා.

අපේ පැත්තෙන් ජනාධිපතිවරුන්ට ඉදිරිපත් වෙන්නේ කවුද කියලා ඔබතුමන්ලට ගැටලුවක් ඇති.මම ඉන්න ස්ථාවරය ඔබතුමන්ලා දන්නවා. අපි කළගුණ දන්න මිනිස්සු.පොහොට්ටුව පක්ෂය හදලා ඉතා කෙටි කාලයකින් බලය අරගත්තා.ජනාධිපති අගමැති අපේ පක්ෂයෙන් පත්වුණා.නමුත් 2022 වෙනකොට බලය අත්හැරලා යන්න අපේ නායකයන්ට සිද්ධ වුණා.

එදා තිබුණු ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්න පුළුවන් නායකය විදියට අපි පක්ෂයේ නායකය මහින්ද රාජපක්ෂ මහත්තයා දැක්කේ රනිල් වික්‍රමසිංහ මහත්තයවයි. ඒ නිසා රටේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහත්තයට භාර දෙන්න අපේ පක්ෂයේ නායකයෝ තීරණය කළා. අපි ඒකට උපරිම සහයෝගය ලබා දුන්නේ කොන්දේසි විරහිතවයි. එදා අපේ පාක්ෂිකයන්ට විශාල කරදර සිද්ධ වුණා.මම ඒව අමුතුවෙන් කියන්න ඕන නැහැ.නමුත් අවුරුදු දෙකක් ඇතුලත රටේ ආර්ථිකය යම් මට්ටමකට හදල බිඳවැටුණු නීතිය හා සාමය ස්ථාවර කරන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පුළුවන්කම ලැබුණා.

නමුත් රටේ මිනිස්සුන්ට තවමත් ප්‍රශ්න තිබෙන බව අපි දන්නවා. අයිඑම්එෆ් එකෙන් ලැබෙන සහයෝගය තවදුරටත් ලබාගන්න නම් අපි ඉදිරි කාලයේදී සැලසුම් සහගතව වැඩ කළ යුතුයි කියලා ජනාධිපතිතුමා කියන්නේ ඒකයි.එම සැලසුම් සහගතව වැඩ කරනකොට ජනතාවට ප්‍රතිලාභ ලබාදෙන්න පහසු වෙනවා.මෙච්චර කල් කළේ රට බංකොලොත්භාවයෙන් මුදවාගැනීම පමණයි.ජනතාවට  සහන ලබාදීමේ වැඩපිළිවෙළ ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා.ජනාධිපතිතුමා විතරක් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණේ නායකයත්, සජබ ආර්ථික විශේෂඥ හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා  දැන් කියන්නේ මේ වැල් පාලමින් එගොඩ විය යුතුයි කියලයි.හැබැයි ඒ කවුරු එදා වැල් පාලමට ගොඩවෙන්න බය වුණා.අභියෝගය බාරගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා පමණයි. ඔහු දැන් යම්කිසි කාර්යභාරයක් කරලා ඉවරයි.

අපේ දේශපාලන මතිමතාන්තර වෙනයි.  රටේ නීතිය හා සාමය ස්ථාපිත කරලා රට ආර්ථික අර්බුදයෙන්  මුදවගත්ත නායකයා විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉතිහාසයට එක් වෙනවා.එතුමා ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුයි කියලා මම කියන්නේ ඒකයි.එතුමා ජනාධිපති ජනාධිපතිවරණය ඉදිරිපත් උනොත් මම අනිවාර්යයෙන්ම සහයෝගය දෙනවා.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් ජනාධිපති අපේක්ෂකයෙක් නම් කරලා නෑ.දන්න විදියට පක්ෂයට නම් කරන්න අපේක්ෂකයෙකුත් නෑ.අනික් අපේක්ෂකයන් අතර ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්න පුළුවන්, ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන, අභියෝග බාරගන්න පුළුවන්, නායකයකුට ඉන්නේ වර්තමාන ජනාධිපතිවරයා පමණයි.

එහෙමනම් කෙළෙහි ගුණ දන්නා මනුෂ්‍ය විදිහට වගකීමක් තියෙනවා වර්තමාන ජනාධිපතිතුමා ජනාධිපතිතුමාට ඉදිරිපත් වුණොත් ඔහු ජයග්‍රහණය කරවන්න.තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවද නැද්ද කියලා තවමත් එතුමා කියලා නැහැ.අපිනම් එතුමට බල කරනවා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා.

අද උපාධිධාරීන් පාරවල්වල උද්ඝෝෂණය කරනවා. උපාධිධාරීන්  සේවයට බඳවාගන්නවට දැන් රජයේ සේවයේ ඉන්න උපාධිධාරීන් කැමති නෑ. ඒ නිසයි මේ උද්ඝෝෂණ ඇතිවෙන්නේ.මේ උද්ඝෝෂණ පිටිපස්සේ ඉන්නේ දේශපාලන පක්ෂ.දෙමව්පියෝ දුක් මහන්සිය මහන්සියවෙලා දරුවන්ට උගන්වලා කැම්පස් යවන්නේ තමන්ගේ දරුවා මහපාරේ කෑගහලා ඉන්නවා බලන්න නෙමේ. දැන් මිනිස්සුන්ට උද්ඝෝෂණ වැඩ වර්ජන අරගල එපාවෙලා. දේශපාලන මතිමතාන්තර පැත්තකට දාලා උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නය විසඳන්න රජය  මහන්සි වෙනවා.

@මාධ්‍ය ඒකකය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *